ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන මැතිසබය දැනුවත් කළ යුතුයි

එය තමාගේ ප්‍රතිපත්තියක් බව අගමැති කියයි

Wickremesinghe 8ආණ්ඩුවේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුය යන මූලධර්මය සැමදාම දේශපාලන ප්‍රතිපත්තියක් වශයෙන් තමා පිළිගත් බවත් තම දේශපාලන ප්‍රතිපත්තිවලට කිසිදිනක අනිවාර්ය නිවාඩු ලබා නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව සඳහන් කළේ කර්තෘවරුන් හත් දෙනකු විසින් රචිත ග්‍රන්ථ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ(26) ඔවුන් විසින් අගමැතිවරයාට භාර දුන් අවස්ථාවේ දී ය.

කුමාරදාස ගිරිබාව, ආචාර්ය ශිරාන් දැරණියගල, කේ. කරුණාදාස, සතිෂ් කුමා, මධූෂා රණසිංහ, මහාචාර්ය ඩබ්ලිව්.එම.ටී.බී.වන්නිනායක සහ ලක්ෂ්මි බොම්ඹුවල මහත්ම මහත්මීන් සිය නව ග්‍රන්ථ අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබිණි.

එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද කීය.

ආණ්ඩුව පාර්ලිමේන්තුවට වග කිවයුතුය යන න්‍යාය පිළිගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජිමයට ආධාර කරන මන්ත්‍රිවරුන් කණ්ඩායම අවසානයේ දී හෝ පිළිගැනීම පිළිබඳ මා ප්‍රශංසා කරනවා.

අවුරුදු දහයක් මේ රට පාලනය කළේ පාර්ලිමේන්තුවක් රට තුළ නොමැති ආකාරයටයි. පාර්ලිමේන්තුවට තැනක් තිබ්බේ නැහැ. ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකිව්වේ නැහැ. කෝප් සිද්ධිය, මහ බැංකුව පිළිබඳ අප විපක්ෂයේ සිට විමසු ප්‍රශ්නවලට අපට පිළිතුරු ලැබුණේ නැහැ. කොන්ත්‍රාත් ගැන, පාරවල් ගැන, දූෂණය ගැන අප ප්‍රශ්න කළ විට පිළිතුරු දුන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගක්ව්වේ නැහැ. හැම මන්ත්‍රීවරයෙක්ම විශේෂයෙන් මගේ මිත්‍ර ජී.එල්.පීරිස් සහ බන්ධුල ගුණවර්ධන මහත්වරුන් මේ වාගේ ප්‍රශ්නවලින් මඟ හැරියා. අද ඒ අයම කියනවා ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකිව යුතු බව. අප අවුරුදු දහයක් තිස්සේ මතක් කර දුන්නේ මේ කාරණයයි.

අපිට ආණ්ඩු බලය ලැබුණු පසු වැඩ කටයුතු සියල්ලම පිළිබඳ අප පාර්ලිමේන්තුවට වාර්තා කළා. ඇමැතිවරු සියලු දෙනාම තම තමන්ගේ අමාත්‍යාංශවල ක්‍රියාත්මක කරනු ලබන දේ, ගත් තීරණ සම්බන්ධයෙන් විශේෂයෙන් විදේශ ඇමැතිවරයා පිටරටකට ගොස් විශේෂ කටයුත්තක් සිදු කළා නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කොමිටියක් පත් කළේ මායි. මේ අය කිව්වේ පාර්ලිමේන්තුවට කෙලින්ම ක්‍රියා කරන ලෙසයි.

එසේ කිරීමට බැහැ. එම වාර්තාවෙන් කරුණු තුනක් හෙළි වුණා. පළමු වැන්න බැඳුම්කර පිළිබඳ තීරණ ගෙන ඇත්තේ ටෙන්ඩර් කොමිටියකින් බව.

ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබී එය ප්‍රතික්ශේප වුණු බව සඳහන් කර තිබෙනවා. දෙවනුව ලංකා බැංකුව සහ ප්‍රෙපචුවල් ට්‍රෙෂරීස් යටතේ වූ ගනුදෙනුව පිළිබඳ සොයා බලන ලෙස ස්ටොක් චේන්ජ් එකට දන්වා තිබෙනවා. තොරතුරු ලබා දෙන ලෙස පොලිසියට දන්වා තිබෙනවා. තුන්වැනුව 2012-2014 අතර කාලයේ මුදල් ලබා ගෙන ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිරව බව.

එම ගනුදෙනු පෞද්ගලික ගැනුම් අනුව සිදු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා. අප ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අපගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට වග කියන නිසායි.

ජී.එල්.පීරිස් මහතා වගේ නොව මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුව විසින් පාලනය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවත් මා හැමදාම පිළිගන්නා මූලධර්මයක්. එය මාගේ දේශපාලන ප්‍රතිපත්තියක්. මා මාගේ දේශපාන ප්‍රතිපත්ති අනිවාර්ය නිවාඩු යවා නැහැ.