ත්‍රස්තවාදයට මේ රටේ යළි ඉඩක් නැහැ

නව ජාතික ආරක්ෂක සැලැසුමක් ‍ෙගාඩනඟන බව ජනපති ජාතික රණවිරු සැමරුමේ දී කියයි

n1505201 1නව ජාතික ආරක්ෂක පිළිවෙතක් හා සැලැස්මක් ගොඩ නඟමින් ත්‍රස්තවාදය නැවත මේ රටේ හිස එසවීමට කිසිදු ඉඩක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාතර දී ඊයේ (19) පැවසීය. බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරව සියලු ජනතාව අන්‍යොන්‍ය අවබෝධයක් ඇතිව තමතමන්ගේ වගකීම් හා යුතුකම් මෙනෙහි කරමින් තම කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව ඉටු කළ යුතු බවද හෙතෙම අවධාරණය කෙළේය.

හෙතෙම මේ බව සඳහන් කෙළේ ඊයේ (19) මාතර සමුද්‍ර මාවතේ දී පැවැති හයවැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කර සාමය ලබා දෙමින් රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගනිමින් මාතෘ භූමියේ ජාතික උරුමය ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදාව සමරන දිනයක් ලෙස මෙම දිනය සළකන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මෙරට ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින්  මාතෘ භූමියේ අනාගතය උ‍ෙදසා නව රජයක් ලෙස ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද හෙතෙම කියා‍ සිටියේය.

ආරක්ෂක මණ්ඩලයීය රැස්වීම්වලදී ආරක්ෂක ප්‍රධානීන්ට ලබා දෙන උපදෙස් මත නව ජාතික ආරක්ෂක පිළිවෙතක් හා නව ජාතික ආරක්ෂක සැලැස්මක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, යළිත් මේ රටේ යුද්ධයක් ඇති නොවීමේ වගකීම පැහැදිලිවම බාර ගන්නා බවද කීවේය.

n1505201 2සංවර්ධනය හා සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ පිළිබඳව දැඩි විශ්වාසයක් හා ගෞරවයක් ඇතිව කටයුතු කරන බව පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමේදී ඒ සඳහා ලබා දිය යුතු සියලු භෞතික හා මානව සම්පත් නොඅඩුව ලබා දෙමින් ආරක්ෂක හමුදා සේවාවන් හි ශක්තිය වැඩි දියුණු කරමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට සෑම පියවරක්ම ගන්නා බවද අවධාරණය කළේය.

රණවිරු සැමරුම් දිනයේදී ජාතියේ සාමය ඇතිවූ දිනය ලෙස ජාතීන් අතර සංහිඳියා පිළිවෙතට මුල් තැන දීමේ දිනය ලෙස සලකමින් අප වගකීම් සියල්ල ඉටු කිරීමේදී අප සෑම කෙනකුගේම පුළුල් වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටුවනු ඇතැයි හුදෙක්ම විශ්වාස කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

අද දවස අප මේ රටේ ප්‍රධාන වශයෙන් නව පිටුවක් පෙරළමින් සාමයේ දේශයක් ලෙස රට ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කෙළේය.