සැකකරුවන්ගේ නිවෙස් ගිනිබත්

කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ උසස් පෙළ හදාරන ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති සිසුවිය සමූහ දූෂ­්‍ය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනකුගේ නිවාස වලට පෙරේදා (18) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගිනිතබා විනාශ කරනු ලැබ ඇත.

ගිනි තැබූ එක් සැකකරුවකු‍ට අයත් නිවසක තිබී ඝාතනයට ලක්වූ සිසුවිය නිතර පළඳින බව කියන උපැස් යුවළ පොලිසිය විසින් සොයාගනු ලැබ තිබේ.

කුන්කුඩතිව් ප්‍රදේශයේ නිවාස හතරක් ප්‍රදේශවාසීන් විසින් මෙසේ ගිනි තබා තිබෙන අතර ඊට අදාළව එක් පැමිණිල්ලක් ඊයේ (19) වන විට කයිට්ස් පොලිසියට ලැබී ඇත.

ගිනි තැබීමෙන් නිවසට රුපියල් ලක්ෂ 04ක පමණ අලාභයක් සිදුව ඇති බවට සැකකරුවකුගේ ඥාතියකු පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබේ.

සැකකරුවන් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා පෙරේදා (18) යාපනය රෝහලට රැගෙන යන විටද ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල් පරිශ්‍රයට පැමිණ ඔවුන්ට පහරදීමට උත්සහ කැර ඇත.

රැඳවුම් නියෝග මත පොලිසිය සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර සැකකරුවන්ගේ නිවාස වලට දැඩි පොලිස් ආරක්ෂාව යෙදවීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත කයිට්ස් පොලිසිය පියවර ගෙන තිබේ.