සමඟිය තහවුරු වන අර්ථ සම්පන්න රණවිරු සැමරුමක්

රිදුණු. බිඳුණු හදවත් සුවපත් වන ජාතීන් අතර සමගිය තහවුරු වන අර්ථ සම්පන්න රණවිරු සැමරුම් උළෙලකට උණුසුම් සුබ පැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් පවත්වන රණවිරු සැමරුමට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ කියා සිටියි.

එම සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

මනුෂ්‍යත්වය පදනම් වූ නිදහස් නිවහල් සමාජයක, ස්වකීය අනන්‍යතාව, සංස්කෘතිය රැකගනිමින් දිවි ගෙවීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම හිමි විය යුතුය. පෘථිවි තලයේ ඉතා කුඩා භූමි වපසරියක විහිදෙන අප මව්බිම බෙදා වෙන්කර සීමා මායිම් පනවා ගත යුතු නොවේ. අන්‍ය සංස්කෘතීන්ට සම්ප්‍රදායන්ට ගරු කරමින් එකම ජනතාවක් ලෙස ජාති, ආගම්, භේදයකින් තොරව එක්සත්ව ජීවත්වීම අත්‍යවශ්‍ය වේ.

යුද්ධය නිම කරමින් මුළු රටම දීර්ඝ කාලීනව වෙළාගෙන පැවති ත්‍රස්තවාදී භීතිකාව අවසන් කළ වීරෝදාර රණවිරුවෝ ඒ සඳහා මූලික අඩිතාලම දැමූහ. මෙය සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් දේශයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළක් බව අප තේරුම් ගත යුතු වේ.

ජාතීන් අතර එකමුතු බව, සුහදශීලීත්වය, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනංවමින් සාමකාමී සමෘද්ධිමත් දේශයක් තුළ සැමට අභිමානයෙන් යුතුව ජීවත්වීමේ හැකියාව තහවුරු කිරීමද අද අපට පැවරී ඇති භාරදූර වගකීමකි.

යුද්ධය වෙනුවෙන් දිවි දුන් සහ ආබාධිත වූ සියලුම රණවිරුවන් මේ මොහොතේදී මහත් කෘතවේදීව සිහිපත් කළ යුතු වෙමු. ඔවුන්ගේ පවුල්, දූ දරුවන් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එලෙසින්ම යුද්ධය නිසා අසරණභාවයට පීඩාවට පත් සෑම දෙනා වෙනුවෙන් මානුෂිකව මැදිහත්වීම ඉතාම වැදගත්ය.

රණවිරු පවුල් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සිදු කරන මෙහෙවර අගය කරමින් රිදුණු, බිඳුණු හදවත් සුවපත් වන ජාතීන් අතර සමගිය තහවුරු වන අර්ථසම්පන්න රණවිරු සැමරුම් උළෙලකට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.