මහ බැංකු අධිපතිට එරෙහි අයිතිවාසිකම් පෙත්සම ඉවතට

13052015 SLMභාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා, මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගාස්තු රහිතව ඊයේ (13) නිෂ්ප්‍රභ කෙළේය.

 පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් නීතිමය පදනමක් හෝ නීතිමය කරුණු නැති බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය මත මෙම පෙත්සම නීතිඥ ලිලන්ති ද සිල්වා මෙනවියගේ උපදෙස් මත නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් ද, ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකු වෙනුවෙන් ද, ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ද, නීතිඥ ජී. ජී. අරූල් ප්‍රභාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ එස්. ඒ. පරතලිංගම් මහතා මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් ද, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් ද පෙනී සිටියහ.

පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ඊට ප්‍රතිවිරුද්ධ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු දීර්ඝව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව විනිසුරු මඬුල්ලේ සභාපති අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කෙළේය.

ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විනිසුරු මඬුල්ලෙහි සෙසු සාමාජිකයෝ වූහ. මෙම පෙත්සම සම්බන්ධ පක්ෂ විපක්ෂ කරුණු දැක්වීම් නීතිඥවරුන් විසින් දින හතරක් පුරා සිදු කරන ලද අතර පෙත්සම්කාර පාර්ශ්වයේ පිළිතුරු කරුණු දැක්වීම නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ඊයේ (13) අවසන් කරන ලදී.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි, ආචාර්ය විශ්වලිංගම් යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු හත්දෙනකු මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට තිබිණි. ඉකුත් පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළව ගැණුම්කරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබූ බවත් පසුව එය රුපියල් බිලියන 10ක බැඳුම්කර නිකුතුවක් තෙක් ඉහළ දමන ලද බවත් ‍පවසමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. එහිදී එම ගනුදෙනුව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සමඟ සිදු කිරීමත්, මහ බැංකු අධිපතිවරයාගේ පවුලේ ඥාතියකු එම සමාගමට සම්බන්ධ වී සිටීමත් නිසා මෙහිදී අක්‍රමිකතා සිදු වී තිබෙන බවට පෙත්සම මගින් පැමිණිලි කර තිබිණි.

එසේම එම බැඳුම්කර නිකුතුවේ දී ඉහළ පොලියක් ගෙවීමට සිදුවන බව ද එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව ද පෙත්සම මගින් පැමිණිලි කර තිබිණි.

එබැවින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කරන ලෙස නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.