ගෝල්ඩන් කී තැන්පතු මුදල් තැන්පත්කරුවන්ටම

golden keyසෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කොට වසර හතක් තිස්සේ තැන්පතු මුදල් ලබාගත නොහැකිව අසරණව සිටින තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත තැන්පත් මුදල් ආපසු ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන් සිය සංගම් මඟින් ශ්‍රී ලංකා මහබැංකුව හා බැංකු මූල්‍ය පද්ධති වගඋත්තරකරුවන් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අංක එෆ්. ආර්. 191 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එකඟ වනනේ නම්, තැන්පත් මුදල් ක්‍රමවත් වැඩපිළිවෙළක් මත ආපසු ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (13) උදේ තමන් හමු වූ තැන්පත්කරුවන්ගෙන් එසේ ඇමැතිවරයා විමසු විට, ඊට එක්ව සිටි සියලු දෙනා “අපි එකඟයි, නඩුව අස්කර ගන්නවා ඔබතුමාට ජයවේවායි! හා හයියෙන් හඬ නැඟුහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ලබා දුන් උපදෙස් හා මඟ පෙන්වීම් මත මේ විසඳුම රජය ලබාදෙන බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට දැනුම් දුන් විට එම පිරිස සතුටු සිනා හඬ නැඟුහ.

ඒ අනුව රුපියල් මිලියන දෙකකට අඩු මුදල් මාසයක් ඇතුළත දීත්, මිලියන දහයකට අඩු මුදල් මාස දෙකක් ඇතුළතදීත්, ඊට වැඩි මුදල් අවුරුද්දක් ඇතුළතදීත් ආපසු ලබාදීමට මහබැංකුව විසින් පියවර ගන්නා බව ඇමැතිවරයා මෙහිදී තැන්පත්කරුවන්ට සහතික විය.

මේ අනුව ලබන 18වැනිදා යළි නඩුව කැඳවූ අවස්ථාවේ දී තැන්පත්කරුවෝ එය ඉවත් කරගනු ඇත. ඒ සමඟම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආදාළ තැන්පතු මුදල් ආපහු තැන්පත්කරුවන්ට ලබාදීමට ක්‍රියා කරනු ලබන බවද ඇමැතිවරයා කීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ගොල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ තැන්පත්කරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ. ගොල්ඩන් කී තැන්පත්කරුවෝ නවදහසකට අධික පිරිසකට මෙමඟින් සහනයක් හිමි වනු ඇත. මේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 26ක් තරම් මුදලක් වැයවනු ඇතැයි රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

මෙම විසඳුම ලබාදීම පිළිබඳව ඔහු රජයට ස්තුතිය පළ කෙළේය.