ගුවන් තොටේ සේප්පුවේ කෝටි ගණනක මුතු මැණික් රත්රන් අතුරුදන්

නිලධාරීන්ගෙන් වංචා-දූෂණ සෙවීමේ කොමිසමට පැමිණිලි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රත්රන්, මුතු මැණික් ඇතුළු වටිනා ස්වර්ණාභරණ රාශියක් අතුරුදන්ව තිබේ.

මේ පිළිබඳ සොයා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපළේ නිලධාරීන් පිරිසක් දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හිටපු සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතාගේ පාලන කාලය තුළ මේ වටිනා මුතු මැණික් ස්වර්ණාභරණ අස්ථානගතවී ඇති බවට තොරතුරු ඇතැයි එම පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරීහු පවසති.

මේ වටිනා රන් රිදී මුතු මැණික් කාලයක් තිස්සේ ගුවන් ‍මගීන් ගුවන් තොටුපළ තුළ දමා ගොස් තිබී සොයා ගනු ලැබූ ඒවා වෙයි.

ගුවන් මගීන්ට අමතක වීමෙන් දමා ගිය අයිතිකරු සොයාගත නොහැකි ගමන් මලුවල තිබී සොයාගත් වටිනා ද්‍රව්‍ය, රේගුවට හා ආරක්ෂක අංශවලට හසුවෙනු ඇතැයි යන සැකය මත දමා ගිය බෑග් වල තිබී සොයාගත් රන් රිදී මුතු මැණික් හා රන් භාණ්ඩ ආදී වශයෙන් ජාවාරම්කරුවන් හා වංචාකරුවන් විසින් ගුවන් තොටුපළින් පිටකර ගැනීමට නොහැකිව දමා ගිය සහ ගුවන් යානාවල එවැනි හේතු මත දමා ගිය ගමන් මලුවල තිබී සොයාගත් වටිනා භාණ්ඩ මෙසේ ආරක්ෂක අංශ හරහා ගුවන් තොටුපල බලධාරීන් වෙත බාරදීමෙන් පසු ගුවන්තොටුපළ කළමනාකරු භාරයේ ඇති සේප්පුවේ ආරක්ෂාවට තබයි.

මේ ආකාරයෙන් කෝටි ගණනක් වටිනා කාලයක් තිස්සේ එකතු වූ එවැනි වටිනා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සේප්පුවේ තිබී අතුරුදන්ව තිබේ. ගුවන් තොටුපළ ඉහළම බලධාරියකුගේ නියෝගය හෝ මැදිහත්වීම නොමැතිව එම සේප්පුව වෙනත් කිසිවකුටත් විවෘත කිරීමේ අවස්ථාවක් නොලැබේ. කාලයක් තිස්සේ මේවා මෙහි තැන්පත්ව තිබී අයිතිකරුවන් ඉදිරිපත් නොවීම නිසා රාජසන්තක භාණ්ඩ ලෙස මේ සේප්පුවල තැන්පත් කර තිබේ.

වටිනා මැණික් ගල් ගණනාවක්, මුතු, ගජමුතු සහ රත්තරන් විශාල ප්‍රමාණයක් එහි තිබී ඇත. පසුගිය පාලන කාලය වෙනතෙක්ම ඒවා එම සේප්පුවේ තිබූ බවට ආරක්ෂක අංශ තහවුරු කරයි. තවද මේ භාණ්ඩ සඳහා ලේඛනයක්ද තිබේ. මේ වන විට එම ලේඛනයේ ඇති භාණ්ඩ සේප්පුවේ නැති බව අනාවරණය වී ඇත.

පසුගිය කාලයේ අමතක වී ගොස් තිබූ ගමන් මල්ලක තිබී ලේඛනගත කර සේප්පුවේ දමා තිබූ වටිනා භාණ්ඩයක් සොයා පැමිණි අයිතිකරුවකුට එම භාණ්ඩ ලබාදීමට සොයා බලද්දී ඒවා එහි නොමැති බවද අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය පසුගිය කාලයේ පරීක්ෂණයක් සිදු කර ඇතත් යම් කිසිවකුගේ බලපෑම මත එම පරීක්ෂණ අත්හිටුවා තිබේ.