දිවි දුන් රණවිරුවන්ගේ පවුල්වලට නව නිවාස සාදා දීම ඇරැඹේ

නිවාස අහිමි සියලුම යුද හමුදා රෙජිමේන්තුවල මියගිය රණවිරු පවුල් වෙත නව නිවාස සාදා පරිත්‍යාග කිරිමේ වැඩපිළිවෙළක් මේ මස 15 දා සිට යුද හමුදාපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ ඒ රෙජිමේන්තුවලින් නිවෙස් අත්‍යවශ්‍ය විරු පවුල් පිළිබඳ තොරතුරු ලබාගෙන කෙරෙන මේ කටයුත්ත අදියරෙන් අදියර නිම කිරිමට පියවර ගැනේ.

මියගිය විරු පවුල් 30ක් වෙනුවෙන් පළමු අදියරේ දී නිවාස තනවා දීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා දිනමිණ ට පැවැසීය. මෙහි පළමු අදියරේ කටයුතු මේ මස 15 දා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දැය වෙනුවෙන් දිවි දුන් යුද හමුදා විරුවන්ගේ පවුල්වල ළඟම ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ ප්‍රධානතම කටයුත්තක් ලෙස සලකා මේ කටයුත්ත ක්‍රියාවට නංවා තිබේ. කිසිදු වෙනසකින් තොරව සියලු රෙජිමේන්තු වෙනුවෙන් මේ කටයුත්ත නිසි අධීක්ෂණයෙන් යුතුව සිදු කිරීමට කටයුතු කරන බවත් නිවෙස් අත්‍යවශ්‍යම අය වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් හෙතෙම කීය. විරු සුබසාධනය ද නිසි ලෙස සිදුකෙරේ.මේ අනුව සෙබළ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ලබා ගැනීම සඳහා පොළී රහිත රුපියල් දස දහසක ණය සහනාධාරයක් ලබාදීට ද කටයුතු කෙරේ.

මේ අයට සහනදායි මිලට පොත් ලබාදීමට ගුණසේන හා සරසවි පොත් වෙළඳසල් ද කැමැත්ත පලකර තිබේ. යුද හමුදා විරුවන්ගේ හා එම පවුල්වල ජිවන තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කෙරෙන අතරම ඔවුන්ගේ මානසික මෙන්ම හැකියාවන්ගේ දියුණුව ද ඇති කිරීමට නව පියවර රැසක් ද යුද හමුදාපතිවරයා ක්‍රියාත්මක කර ඇත. සෙබළාගේ විනය ඇතිකරලීමට ද පියවර ගෙන ඇත. විනය උපරිමයෙන්ම පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන අතර යම් විනය විරෝධී ක්‍රියාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබඳ නිසි පියවර ගන්නා බවත් විනය කඩ කිරීමෙන් පසු දඬුවම් කරනවාට වඩා එසේ සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට යුද හමුදා නිලයන් හා සෙසු නිල වෙත උපදෙස් හා ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දී තිබෙන බවත් කීය.

හමුදා සෙබළාගේ පැවැත්ම හා හමුදාවේ යහපැවැත්ම වෙනුවෙන් කෙරෙන මේ කටයුතු අතර නව තාක්ෂණය අනුව සේවා පුහුණුවද ලබා දෙයි. යුද හමුදා‍වේ නීති රීති අනුව සිදුකිරීමට ඇති සියලු කටයුතු රට වෙනුවෙන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිමත් මෙන්ම විනය ආරක්ෂා කරන හැකියා‍වන්ගෙන් පරිපූර්ණ හමුදාවක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කරන බවත් ඊට අවශ්‍ය නිසි උපදෙස් මෙන්ම නිදහස තමන්ට ලැබී තිබෙන බවත් හෙතෙම සඳහන් කෙළේ ය.