ජාතික ආරක්ෂාව සුරකින්න සෑම පියවරක්ම ගන්නවා

ජනපති මෛත්‍රි සූරියවැව දී කියයි

රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

තමා විදේශගත වූ අවස්ථාවලදීත් රටට විදේශ නායකයන් සහ විදේශ නියෝජිතයන් පැමිණි අවස්ථාවලදීත් රටේ ජාතික ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් තමා විශේෂ සාකච්ඡා සිදු කැර ඇතැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ සූරියවැව ඉදිකළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (5) එක් වෙමිනි.

ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාව මෙන්ම රටේ යුද්ධය පැවැති අවස්ථා පහක දී තමාට ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටු වෙන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය. ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට තිබූ මතයත් සමඟ ඉන්දීය භටයන් ලක්ෂයක් තම ර‍ටට පැමිණි බව අනාවරණය කළ ජනාධිපතිවරයා එහෙත් ඔවුන්ට ද යුද්ධය නිමා කිරීමට නොහැකිවූ බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන  නායකත්වය යටතේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන ත්‍රිවිධ හමුදාව කරන ලද කැපවීම අධිෂ්ඨානශීලී බව හේතුවෙන් රටට නිදහස උදා වූ බවත් පැවැසීය.

ඒ යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒකීය බව, භෞමික අඛණ්ඩතාව ආදී සියල්ල ශක්තිමත් කරමින් සාමකාමී රටක් ලෙස කටයුතු කිරීමේ හැකියාව උදා වූ බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

මිනිසාගේ පරිනාමය සමඟ සියලුම අංශ දියුණු වූ අයුරින් මිනිස් පරිනාමය තුළ ආරක්ෂාව මෙන්ම තමා ජීවිත්වන ප්‍රදේශය රටේ ආරක්ෂාව පිළිබඳ ලෝකයේ සෑම රටකම සෑම ජාතියක්ම පුළුල් ලෙස අවධානය යොමු කැර ඇතැයි ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය.

ආරක්ෂක රාජ‍්‍ය ඇමැති රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.