මන්ත්‍රීවරුන් තේරීම කේවල ක්‍රමයට

Rajitha2ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මෙහිදී කුඩා හා සුළු දේශපාලන පක්ෂවලට අසාධාරණයක් සිදු නොවන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව ද ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. විසි වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කී  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් ගෙන ඒම සිදුවනු ඇතැයි ද කීය.

1976 න් පසු ඡන්ද කොට්ඨාස ගැසට් කිරීම සිදුකර නොමැති නිසා එය අලුතෙන් ගැසට් කිරීමට සිදුවන බවත් එහිදී සෑම ඡන්ද කොට්ඨාසයකටම සාධාරණයක් ඉටු කිරීමටත් කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

ඇතැම් ඡන්ද කොට්ඨාසවලට විශාල ජන සංඛ්‍යාවක් සිටියද එම දිස්ත්‍රික්කයේම තවත් ඡන්ද කොට්ඨාසයකට ඉතා සුළු ජන ප්‍රමාණයක් සිටීම වාර්තා වී ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන යම් යම් සීමා නිර්ණයන්ද පැනවීමට ගැසට් නිවේදන සැකසීමේදී සිදුවන බවද ඇමැතිවරයා පැවැසීය.

එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ද සියලුම පක්ෂ අවබෝධතාවකට පැමිණ සිටින බව ද පැවැසූ ඇමැති රාජිත සේනාරත්න මහතා මේ පිළිබඳව පැවැති සාකච්ඡාවලදී විසඳුම් කිහිපයක් යෝජනා වී ඇති බව ද කීය.