එළඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා

නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනිවාර්යයෙන්ම සංශෝධනය කරන බව රජය අවධාරණය කරයි.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමත් සමඟ එම සංයුතිය වෙනසකට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් රජයේ කිසිඳු කැමැත්තක් නොමැති බවද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

අදාළ ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථම එම සංයුතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් සහ සිවිල් සමාජයේ හත් දෙනෙකුගෙන් සමන්විත වූ බව පෙන්වාදෙන ඒ මහතා විපක්ෂයේ යෝජනාවක් මත ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව එහි සංයුතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් සහ සිවිල් සමාජයේ තිදෙනකුගෙන් සමන්විත වන බව ද පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ වත්මන් රජය මේ රටේ නිර්දේශපාලනීකරණයක් අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් මේ ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනිවාර්යයෙන්ම සංශෝධනය බවත්ය.

මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව එහි සංයුතිය කතානායකවරයා සභාපති වශයෙන් ක්‍රියාකරන අතර අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අයත්වන බවත් ඔවුන් දෙදෙනා විසින් තෝරා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු සහ සිවිල් සමාජයේ දෙදෙනකු අයත්වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය. ඊට අමතරව සුළු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා විසින් නම්කරන එක් අයෙකු ද අයත්වන බව කී ඒ මහතා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කෙළේය.