‘මන්ත්‍රීන්ට එරෙහි විමර්ශනයකදී කතානායක දැනුවත් කරන්න’

n1504227මන්ත්‍රීවරයකුට එරෙහිව යම් විමර්ශනයක් ආරම්භ කිරීමට පෙර තමා දැනුවත් කිරීම සුදුසු බව තමාගේ අදහස යැයි ඊයේ (21) පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ කතානායක චමල් රාජපක්ෂ මහතා සභාවේ කටයුතුවලට බාධා නොවන පරිදි මන්ත්‍රීවරුනගේ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් අල්ලස් කොමිසම සිය විමර්ශන කටයුතු සිදුකළ යුතු බව අවධාරණය කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිය විමර්ශන කටයුතු අල්ලස් පනතේ 17 වන වගන්තියට අනුව රහස්‍ය භාවය රැකගෙන පරීක්ෂණ කටයුතු කළ යුතු බව තවදුරටත් අවධාරණය කළ කතානායක වරයා මෙහිදී මාධ්‍ය ආයතනද වගකීමෙන් වැඩ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කීය.

අල්ලස් කොමිසම විමර්ශන සඳහා මන්ත්‍රීවරුන් කැඳවීම ගැන පෙරේදා (20) විපක්ෂය මතු කරන ලද විරෝධය පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරමින් මේ බව සඳහන් කළ කතානායක වරයා මේ පිළිබඳව මන්ත්‍රීවරු බිම වාඩි වී විරෝධය පළකළහ.

කතානායක චමල් රාජපක්ෂ මහතා සිය නිවේදනයේ මෙසේද සඳහන් කරයි

ඊයේ දිනයේදී ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉතා හදිසි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් මේ සභාව දැනුවත් කෙළේ පසුගිය දිනවල යම් පිළිවෙළක් අර්ථයක් හෝ කිසිම නීති-රීතියක් අනුගමනය ‍නොකරමින් මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ දරුන් ඇතුළු පවුලේ උදවිය ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරියට කැඳවීමට කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම ගෞරවයට හානිවන ආකාරයේ කටයුතු කෙරෙමින් පවතින බවයි. තවද එතුමා සඳහන් කිරීමට යෙදුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යධූරයක් භාරගැනීම නිසා එම මන්ත්‍රීතුමාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා ඇති බවත් ඒ පිළිබඳ අද දින සමහර පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රවෘත්ති වාර්තා කොට ඇති බවත් තවදුරටත් පවසා සිටින ලදී.

මේ සිද්ධීන් ඉතා බරපතළ තත්ත්වයක් බවත් මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ කටයුතුවල යෙදීමට බලවත් තර්ජනයක් එල්ලවන බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ සභාවට ප්‍රකාශ කෙළේය.

මේ පිළිබඳ දෙපක්ෂයේම මන්ත්‍රීවරු අදහස් පළකරන ලදී. සභාවේ කටයුතු අවසාන වෙත්ම විපක්ෂයේ මන්ත්‍රී කණඩායමක් සභා ගර්භයේ බිම වාඩිවී විරෝධය පළකිරීම ආරම්භ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ කටයුතු කිරීමේදී එම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදිත් සභාවේ ගෞරවය ආරක්ෂා වන පරිදිත් කටයුතු කළ යුතු බව මගේ විශ්වාසයයි. තවද, මේ හා සමාන කරුණක් පිළිබඳව මවිසින් දැනටමත් 2015 මාර්තු මස 03 දින නිවේදනයක් කරමින් දන්වා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවන්වලදී ඒපිළිබඳ කතානායකවරයාට දැන්වීමේ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යෑම සුදුසු බවයි. මේ අවස්ථාවේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂාවන ආකාරයට කටයුතු කළ හැක්කේ කෙසේද යයි විමසා බැලීමට අල්ලස් කොමිසමේ සභාපතිවරයා මවිසින් පාර්ලිමේන්තුවට කැඳවන ලදී.

ගරු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට, පෞද්ගලික ජීවිතයට සහ පාර්ලිමේන්තු කටයුතුවලට අනිසි බලපෑමක් හෝ බාධාවක් ඇති නොවන අයුරු කටයුතු කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියේ සඳහන් වන පරිදි පරීක්ෂණ පිළිබඳ උපරිම රහස්‍ය භාවය රැකීම උචිත බවත් ම විසින් අවධාරණය කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවන්හිදී අනුගමනය කරන සම්ප්‍රදාය හා සමානව යම් මන්ත්‍රීවරයකු පිළිබඳ පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කරන විටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් මා දැනුවත් කිරීම සුදුසු බව මාගේ අදහසයි.

තවද එවැනි පරීක්ෂණයකදී ප්‍රකාශයක් ගැනීමට අවශ්‍යතාවයක් පැන නැගුනහොත් එම ප්‍රකාශය ගැනීම පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් නොවන අයුරින් ඒ සඳහා සුදුසු දිනයක් හා ස්ථානයක් යොදාගැනීම උචිත බව මා තවදුරටත් අදහස් කරමි.

තවද ම විසින් මීට පෙර සඳහන් කිරීමට යෙදුන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පරීක්ෂණ කටයුතුවල රහස්‍ය භාවය රැකීමටද කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරමි.

තවද මාධ්‍ය ආයතන විසින් ද ප්‍රවෘත්ති පළකිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි ද මම විශ්වාස කරමි.