අපේ පාලන කාලයේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා

President5අප රටේ බෞද්ධ ආගමික පරිසරය ශක්තිමත් කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය ඓතිහාසික විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙනවා. එය අද දවසේ පමණක් නොව ඈත අතීතයේ රජ දවසේ සිට සිදුවෙමින් පවතිනවා. අනුරාධපුර යුගයේ සිට කොළඹ යුගය දක්වා ජාතික ආගමික සංස්කෘතික හා සමාජීය යන සියලු කටයුතු වලදී මහා සංඝරත්නය මහත් කැපවීමකින් ක්‍රියා කරනවා පමණක් නොව මේ රට විවිධ ආක්‍රමණිකයින් අතට පත්ව තිබූ අවධියේදීත් රට විවිධ අර්බුදවලට ගොදුරු වූ අවස්ථාවලදීත් පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේද මහා සංඝරත්නය යි. එසේ හෙයින් අපේ පාලන කාලය තුළදීද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) දින යක්කලමුල්ල කොට්ටවදී පැවසීය.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ සිව්වෙනි මහානායක ධුරයෙන් පිදුම් ලද කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති සද්ධර්ම වාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතන සාරාභිධාන මහෝපාධ්‍යය අති පූජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්දා භිධාන මහනායක මාහිමිපාණන්  වහන්සේට එම ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ  පූජෝත්සවයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.
මෙම උත්සවයේ මුලසුන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන  ධම්මාලංකාර මහනායක නාහිමිපාණන් වහන්සේ හෙබවූ අතර ෙතේ‍ර නිකායික  මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්  , පළාත්  සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්  ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ  සහභාගීත්වයෙන්  සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

දකුණු පළාත මේ රටට රාජ්‍ය නායකයින්  බිහි කළ ඓතිහාසික ප්‍රදේශයක්. එම නායකයින්  සියලු දෙනාම බෞද්ධ ශාසන හා බෞද්ධාගම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දී කළ හැකි දේ සිදුකළා. අපේ නව රජයද බෞද්ධ දර්ශනය පදනම් වූ  සමාජයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරනවා. ගමේ පන්සල ශක්තිමත් වූ විට ගමද ශක්තිමත්  වෙනවා.

අද ලෝකයේ සංවර්ධනය ඇතැයි කියන රටවල භෞතික සංවර්ධනයක් මිස අධ්‍යාත්මික  සංවර්ධනයක් දක්නට නැහැ. එය පිරිහෙමින්  පවතින තත්ත්වයක් දක්නට ලැබෙනවා.

ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු දකුණු පළාතේ උතුම් පූජනීය බෞද්ධ කටයුත්තකට සහභාගී වීමට ලැබිම වාසනාවක්.
අක්ත පත්‍රය කියවීම ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කර්ම වගා චාර්ය පූජ්‍යපාද නාරන්දෙණියේ ධම්මාවාස හිමිපාණන්  සිදුකළ අතර අක්තපත්‍රය ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින්ද , විජිනි පත්‍ර පිළිගැන්වීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර  නානායක්කාර මහතා විසින්ද සිදු කෙරුණි.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ‍ලේඛකාධිකාරි අනුනායක ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්ද අමරපුර මහා නිකායේ අනුනායක ධර්මපාල  වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ද මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ  අතර උත්සව සභාවේ  පිළිගැනීම කථාව ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානයේ  ගාල්ල දිස්ත්‍රික් සභාපති නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රවේදි තල්ගම්පල සද්ධානන්ද හිමිපාණෝ සිදු කළහ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ දකුණු පළාත් අණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ.

අතිපූජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මහනාහිමි හරසරණිය ග්‍රන්ථය උන්වහන්සේ ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත පිරිනැමුන අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්  චන්ද්‍රපේම ගමගේ , ගාල්ල දිස්ත්‍රික් ‍ලේකම් රවීන්ද්‍ර හේවා පතිරණ ඇතුළු යක්කලමුල්ල , බද්දේගම සහ අක්මීමන ප්‍රාදේශීය ‍ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු , අමාත්‍ය පියසේන ගමගේ, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි දකුණු පළාත් අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක සහ අමාත්‍යාංශ ‍ලේකම්වරු කිහිපදෙනෙක්ද මෙම පූජෝත්සවයට සහභාගී වූහ.

උත්සව සභාව මෙහෙය වීම අනුරාධපුර ශ්‍රී ලංකා  භික්ෂු විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද කනන්ගොඩ සද්ධාරතන හිමිපාණන් වහන්සේ සිදුකළහ.