29032024Fri
Last update:Mon, 04 Mar 2024

ලංසුව ගැන වැඩිදුර විමර්ශනයක්

mahendranමහ බැංකුවේ තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට තිබුණු ලංසුව පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් මේ පිළිබඳ පරීක්ෂා පැවැත්වූ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කොට තිබේ.

එමෙන්ම මේ බැඳුම්කර නිකුතුවට අදාළ ලංසු බාර ගැනීම සම්බන්ධයෙන් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කිසිදු ඍජු දායකත්වයක් දක්වා නැතැයි කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කොට තිබේ.

බැඳුම්කර නිකුතුවේ ප්‍රමාණය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන මූල්‍ය මණ්ඩලය තීරණය කොට නැති බවත් එම කාර්යය භාරව තිබී ඇත්තේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය බව ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු නොකළ බව එම ත්‍රිපුද්ගල කමිටුව ප්‍රකාශ කරයි.

ගාමිණී පිටිපන, මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනාගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ගේ සම්පූර්ණ වාර්තාව පිටු 19කින් සමන්විතය.

රජයේ අතිශයින්ම සංවේදී තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා බැඳුණු අඩුලුහුඬුකම් කිහිපයක් මෙම කමිටුව විසින් පෙන්වා දෙනු ලැබ ඇති අතර එම අංශයට අදාළ විධිමත් සුපරීක්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද වාර්තාව මගින් අවධාරණය කොට ඇත.

එමෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් එම නීතිඥ කමිටුව නිර්දේශ කොට තිබේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ බැඳුම්කර නිකුතුව සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසුවලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බවයි. බැඳුම්කර නිකුතුවට අදාළව අතිවිශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් (Forcnsil audit) පැවැත්විය යුතු බවත්, සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chiet Dealer) කරුණු විමැසිය යුතු බවත් වාර්තාව ප්‍රකාශ කොට තිබේ.

මේ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය මෙසේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වඩාත් හොඳ පාලන යන්ත්‍රණයක් තහවුරු කිරීම සඳහා වන පුළුල් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කොට ඇත.

මේ සඳහා අදාළ ත්‍රිපුද්ගල කමිටුව පාර්ශ්ව ගණනාවක් සමඟ සාකච්ඡා කොට ඇති අතර ඒ අතර මහ බැංකු අධිපතිවරයා ද, මහ බැංකුවේ නිලධාරිහු ද, ප්‍රාථමික ගනුදෙනුකරුවෝ ද, පෙ‍ර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ද වෙති.

ශ්‍රි ලංකා රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් මෙහෙයවන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා බැඳුණු අඩුලුහුඬුකම් කිහිපයක් මෙම කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

රජයේ අතිශයින්ම සංවේදී තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැවින් එම අංශයට අදාළව විධිමත් සුපරීක්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කළ යුතු බව ත්‍රිපුද්ගල කමිටුව පිටු 19 කින් සමන්විත සිය වාර්තාවේ සඳහන් කොට ඇත.

කෙසේ වෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කොට ඇති පරිදි වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු ඍජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වැනිදා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වා ඇත.

“මූල්‍ය මණ්ඩල ලඝු සටහන් 4/2015 යටතේ වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත‍. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලියට අනුව එම කාර්යය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අටදෙනකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු නොවේ” යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මහ බැංකු අධිපතිවරයා කිසිදු ඍජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බව ද එම කමිටු වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත් වසර තිහක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසුවලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බව කමිටුව ප්‍රකාශ කොට තිබේ.

පෙර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කොට ඇත.

වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අතිවිශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chief Dealer) කරුණු විමසිය යුතු බවත් කමිටුව නිර්දේශ කොට තිබේ.

බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය සිදුකළ ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වූයේ නීතිඥ ගාමිණී පිටිපන (සභාපති) නීතිඥ මහේෂ් කළුගම්පිටිය නීතිඥ චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරුන්ගෙනි.