එළිමහන් සතුන් වත්ත අද ජනතා අයිතියට

n1504176 1දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි සත්ව උද්‍යානය මෙන්ම පළමු එළිමහන් සත්ව උද්‍යානය පින්නවල දී අද (17) විවෘත කෙරේ. පින්නවල අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමිභාගයක් පුරා ඉදිරිකර තිබෙන මේ සත්ව උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 862කි. එයින් රුපියල් මිලියන 488ක් මහා භාණ්ඩාගාරයෙන් වන අතර ඉතිරිය ශ්‍රී ලංකා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 මෙම එළිමහන් සත්ව උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 1988 වසරේ දී ආරම්භ වුවද වසර 27 ට පසුව ඉදිවූ මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවලින් පසුගිය 2014 වනවිට සියයට 68ක ප්‍රමාණයක් අවසන්කර තිබෙන බවද මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද එම අමාත්‍යාංශය කියයි.

මේ එළිමහන් සත්ව උද්‍යානයේ පළමු අදියරට අක්කර 44ක් අයත්වන අතර එම කලාපය මෙරටට ආවේණික සතුන් සඳහා වෙ‍න් කෙරේ. දිවියන්, වලසුන්, මුවන් මෙන්ම කිඹුලන් ද සංරක්ෂණය කරමින් ඔවුන්ගේ චර්යාවන් ද පහසුවෙන් නිරීක්ෂණය කිරීමට මෙය නැරැඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව උදා වෙයි.

සීමිත ඉඩකඩකට කූඩු කරන ලද පසුබිමක සම්ප්‍රදායික සත්ව උද්‍යාන පිළිවෙතින් මිදී පුළුල් ඉඩකඩක් තුළ එම සතුනට ඔවුන්ට අවේණීක පරිසරයක දිවි ගෙවන්නට ඉඩ ලැබීම ද විවෘත සත්ව උද්‍යාන සංකල්පයේ මූලික අරමුණ බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙහි පළමු අදියර යටතේ ප්‍රවේශ ගොඩනැඟිල්ල, රථගාල, නරඹන්නන් සඳහා ප්‍රවේශ කලාප ආදී පොදු පහසුකම් සහිත පළමු අදියර නොමිලේ දැක බලා ගැනීම සඳහා මේ මස 30 දා තෙක් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවෙයි. කිඹුල් උයන, වලස් අරණ, උභය ජීවී හා උරග උයන මෙන්ම විවේක කලාපයන් සහ සත්ව උද්‍යානයේ දිනපතා එකතුවන ඝන කසල දහනය කිරීම වැනි ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි.

සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක, ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග ඇමැති කබීර් හසීම්, සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක, කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.