වසර ගණනාවකට පසු මාර්තු මාසයේ ජීවන වියදම අඩුවෙලා

ජනතාවට අවුරුදු ජයටම සමරන්න ඉඩ ලැබී ඇතැයි අගමැති කියයි

n 16වසර ගණනාවකට පසු ප්‍රථම වතාවට මාර්තු මාසයේ ජීවන වියදම අඩු වී ඇතැයිද රජය ලබා දුන් සහන භුක්ති විඳිමින් ජනතාට මෙවර හොඳ අලුත් අවුරුද්දක් සැමරීමේ අවස්ථාව උදා වී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසත් තමා අගමැති ලෙසත් පත් වීමෙන් පසු එළැඹෙන මේ සිංහල අලුත් අවුරුද්ද අන් සෑම අවුරුද්දකටම වඩා ජනතාවට සුභ වී ඇති බවද අගමැතිවරයා කිය.

මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවට සැරසෙන ජනතාවගේ සුදානම පිළිබඳ නිරීක්ෂණය කිරිම සඳහා ඇල්පිටිය නගරයේ සංචාරයක නිරත වූ අගමැති වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ ප්‍රථම wi-fi කලාපය ඇල්පිටිය බස් නැවතුම් පරිශ්‍රයේ ආරම්භ කිරිම සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ගැබිණි මව්වරුන්ට පෝෂණ සලාක බෙදා දිමේ අවස්ථාවට පෙරේදා (12) සහභාගි වූ අතර එම අවස්ථාවලින් පසුව පැවති ජන හමුවේදි මේ බව ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේද කිය.

මෙදා සැරේ අවුරුද්ද සරුයි.ජනවාරි 08 දා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත් කර ගත්තේ සහන බලාපොරොත්තුවෙන් .අද ඒ බලාපොරොත්තු ඉටු වෙලා නිදහසේ ජයට සිංහල අවුරුදු කෑමට හැකි වී තිබෙනවා.රට කන පාලනයක් වෙනුවට ජනතාවට සිංහල අවුරුදු කෑමට හැකි පාලනයක් උදා වි තිබෙනවා. ජනතාවට හොඳ සිංහල අවුරුදු කාලයක් ලබා දෙන්න ආණ්ඩුවකට බැරි නම් ඒ ආණ්ඩුව රට පාලනය කිරීමෙන් පළක් නොවන බව.ජේ.ආර්.ජයවර්ධන මහතා එක් වරක් මට පැවසුවා ප්‍රේමදාස සහ විජේතුංග ජනාධිපතිවරුන්ගේ කාලයේදිත් ජනතාව හොඳින් අවුරුදු සැමරුවා.

මා අගමැති වූ සෑම අවස්ථාවකදීම හොඳ සිංහල අලුත් අවුරුද්දක් ජනතාවට මා ලබා දුන්නා.මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසත් මා අගමැති ලෙසත් පත් වූ පසු මේ එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද අන් සැම අවුරුද්දකටම වඩා ජනතාවට හොඳ බව මා පවසනවා.

ගොවි , ධීවර සහ රජයේ සේවකයින් වැනි වැඩකරන ජනතාව ජීවත් වුණේ අමාරුවෙන්.පාරිභෝගිකයෝ අතේ සල්ලි තිබු‍ණේ නැහැ. අවුරුදු කෑවේ ණය වෙලා.පාරිභෝගිකයින්ගේ ඉල්ලුම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා.රට සංවර්ධනය කර ඔවුන්ට මුදල් ලබා දීමට පුළුවන්. නමුත් ඒකට කාලයක් ගත වේවි.

පසුගිය රජය මුදල් ණයට ගෙන සංවර්ධන ව්‍යාපෘතිවල යොදවා ලැබුණු කොමිස් මුදල් ගියේ පාලකයින්ගේ සාක්කුවට පමණයි.අපි මේ ක්‍රමය වෙනස් කරනවා. ජනතාව අතට මුදල් දෙනවා.ඒ වගේම හොඳ සිංහල අලුත් අවුරුද්දක් දෙනවා.රටේ සමස්ථ ඉල්ලුම වැඩි කර මුදල් පරිහරණය වැඩි කිරීම සඳහා අප ආරම්භය ගත්තේ ඉන්ධන මිල අඩු කිරිම තුළින්. තෙල් මිල අඩු වීමෙන් සෑම දෙයක්ම අඩු වුණා. මෝටර් සයිකලයේ ටැංකිය පිරුණු පසුත් අතේ සල්ලි ඉතිරි විමෙන් තවත් දේ මිලදී ගැනිමට හැකි වෙනවා.අත්‍යවශය බඩු මිල අඩු වුණා.

අවුරුදු ගණනාවකට පසු ප්‍රථම වතාවට මාර්තු මාසයේ ජීවන වියදම අඩු වි තිබෙනවා.ඒ ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳිනවා. රජයේ සේවකයන්ට රුපියල් පන් දහසක දීමනාවක් දුන්නා.පුද්ගලික අංශයේ වැටුප් වැටුප් මණ්ඩල මගින් වැඩි කරගෙන යනවා.වැටුප් මණ්ඩලවලට අයත් නොවන සාප්පු කාර්යාල සේවකයින්ගේ වැටුප් වැඩි කර ඊළඟ මාසය වන විට ඔවුන්ටත් මුදල් ලැබෙනවා.

ඒ මුදල් ලබා දෙන ගමන් වී මිලදී ගත්තා. රබර් ,‍ තේ මිල වැඩි වී තිබෙනවා.ඒවා වෙනුවෙන් අප රුපියල් මිලියන 12,000ක් වෙන් කර තිබෙනවා.ඒවායේ මුදල් දැන් ජනතාව අතට එනවා. ඉන්ධනවලින් ඉතුරු වූ මුදල්වලින් ජයට අවුරුදු කන්න පුළුවන්.අපි පොඩි කාලේ අවුරුද්දට රබන් ගැසුවා.දැන් රබන් ගසන්නේ නැහැ. දවස් සියයේ වැඩසටහන ගැන මුලින් පැවසු විට කරන්නේ කෙසේදැයි සමහරු ඇසුවා.දැන් මා එය පෙන්නා තිබෙනවා. අපි ඔක්කොම එකතු වී මී ළඟ ජන්දෙන් පසු රට සංවර්ධනය කළ යුතුයි.ආදායම් වැඩි කළ යුතුයි.ඊ ළඟ අවුරුදු පහේදි රැකියා දශ ලක්ෂයක් ආරම්භ කරනවා.

කර්මාන්ත ඇති කර සංචාර ව්‍යාපාරයද දියුණු කරනවා.විශේෂයෙන් මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කර බෙන්තර සිට කොග්ගල දක්වා සංචාරක කළාපයක් ඇති කරනවා.ඒ ඇති කරන්නේ සල්ලි තියෙන සංචාරකයින් වෙනුවෙන්. සල්ලි තිබෙන සංචාරකයින් ගෙනවිත් විදේශ විනිමය අප උපයා ගත යුතුයි.වතුර බිලා යන්න ලංකාවට එන සුද්දන්ගෙන් වැඩක් නැහැ. ලොකු ලොකු හෝටල් ඉඳි කිරිම නොව අපට අවශ්‍ය පොඩි පොඩි ආපන ශාලා ඉඳි කරන පොඩි මිනිසා දියුණු කිරිමටයි.මෙතෙක් කල් තැන තිබුණේ ලොකු ව්‍යාපාරවලටයි.අප බලයට ආවේ කුඩා ව්‍යාපාරිකයා ජීවත් කිරිමටයි.

මේ නගරය මැදින් යන විට කඩ මණ්ඩිය දියුණු වී, ස්මාර්ට් ෆෝන් වැඩි වී,නගරය දියුණු වී තිබෙනු දැකීමට මා කැමතියි.පොඩි මිනිසා දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් අපි ඇති කරනවා. මුදල් පරිහරණය වේනම් කඩමණ්ඩිය දියුණු වෙනවා.

මන්ද පෝෂණය අඩු කිරීමට අපි ගැබිණි මව්වරුන්ට පෝෂණය ලබා දෙනවා.ඒ සඳහා රෝසි සේනානායක මහත්මිය යටතේ වෙනම අමාත්‍යාංශයක් ඇති කළා.

තරුණයින්ට තාක්ෂණයෙන් ඉදිරියට යාමට අප WI-FI නොමිලේ ලබා දෙනවා.අලුත් සමාජයට යාමට අන්තර්ජාලයේ සැරිසැරිය යුතුයි. නමුත් ගැටලුව මුදල් නැහැ.අපි නොමිලේ දෙන්නේ තරුණ තරුණියන්ගේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දැනුම දියුණු කිරිමටයි.

ජාතික සමගිය ඇති කර ඉදිරියට යා යුතුයි.ජාති සහ ආගම් භේද ඇති කළහොත් ලෝකය අපව ප්‍රතික්ශේප කරනවා. අන්තර්ජාතික වශයෙන් අපගේ රජයට පිළි ගැනීමක් තිබෙනවා.ලෝකයේ බොහෝ රටවල්වලින් ජනාධිපතිතුමාට ආරාධනා ලැබෙනවා.ඉන්දියා අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් ගණනාවක් මෙහි ආවේ එම පිළි ගැනීම නිසයි.අප සමග එකතු වීමට ලෝකයට අද අවශ්‍ය වී තිබෙනවා.ඒ තත්ත්වයට අප ලඟා වී තිබෙනවා. ඊ ළඟ ජන්දෙන් පසු ස්ථාවර ආණ්ඩුවක් බිහි කරමු.සල්ලි තිබෙන සමාජයක් ඇති කරමු.ඒ සඳහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට සහ කර්මාන්ත ඇති කිරිමට පියවර ගන්නවා.

ගයන්ත කරුණාතිලක ඇමතිතුමා මාධ්‍ය නිවැරිදි මාර්ගයේ ගෙන යාමට විශාල උනන්දුවක් දක්වනවා.ඒ වගේම ඇල්පිටිය දියුණු කිරිමටත් ඇත්තේ ඒ වගේම උනන්දුවක්. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් මා ප්‍රාර්ථනා කරනවා.

ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා- රජය ලබා දුන් සහන භුක්ති විඳිමින් ජනතාව සිංහල අලුත් අවුරුද්දට සූදානම් වන අයුරු දැක බලා ගැනිමට මෙතරම් නගර තිබියදි අගමැතිතුමා ඇල්පිටිය නගරය තෝරා ගත්තා.

ජනාධිපතිවරණයට පෙර අප දුන්නේ එක පොරොන්දුවයි.දින සියයෙන් පසුව අලුත් ආණ්ඩුවක් තෝරා ගැනිමේ අවස්ථාව ජනතාවට ලබා දෙන බවයි. ඉන්ධන මිල අඩු කරන බව අප පොරොන්දු වුණා.මෝටර් බයිසිකල් ,ත්‍රීරෝද රථ දුප්පත් ජනතාවගේ වාහන.ඔවුන්ට විශාල වාසියක් ලැබුණා.පෙට්‍රල් ගසන වාරයක් වාරයක් පාසා රුපියල් සියයක් සාක්කුවේ ඉතිරි වෙනවා නේද?ඇල්පිටිය පොල ඊයේ විවෘත කළා.සාමාන්‍ය ජනතාවට උම්බලකඩ කෑල්ලක් දැමූ සම්බෝලයක් කෑමේ අවස්ථාව උදා වී තිබෙනවා.ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ග්‍රාමසේවකයෙකු මට හමු වුණා.රුපියල් 5000කින් පඩි වැඩි වී අවුරුදු සරුයි නේදැයි මා ඔහුගෙන් විමසුවා.බිරිඳ ගුරුවරියක් නිසා රුපියල් 10000කින් ආදායම වැඩි වී ඇතැයි ඔහු පැවසුවා.අප ලබා දුන් සහන ජනතාව භුක්ති විඳිනවා.

ගැබිණි මාතාවන්ට රුපියල් විසි දහසේ පෝෂණ සලාක ලබා දීම ඇල්පිටියේ අප අද ආරම්භ කළා.

පසුගිය රජයේ අදූරදර්ශි ක්‍රියා කළාපය නිසා අපේ රට අන්තර්ජාතිකව හුදකලා වුණා.බිය නොමැතිව දූර දර්ශි ලෙස අන්තර්ජාතික සම්බන්ධතා පැවැත්විමට හැකි නායකයෙක් අපට ලැබී තිබෙන නිසා අපේ රටට විශාල ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

අගමැතිතුමා මාහට කැබිනට් ඇමති ධූරයක් පමණක් නොව පාර්ලිමේන්තුවේ එතුමාගේ ආසනයට යාබද අසුනේ වාඩි විමට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරයද මට ලබා දී තිබෙනවා.

දකුණු පළාතේ නොමිලේ wi-fiලැබු ප්‍රථම නගරය ඇල්පිටිය බවට පත් වුණා. අගමැතිතුමා අධ්‍යාපන ඇමති ලෙස සිටියදිත් තරුණයින් වෙනුවෙන් කටයුතු කළා.එතුමා අධ්‍යාපන පරිපාලන සේවය ඇති කිරිම නිසා තරුණ විදුහල්පතිවරුන් බිහි වුණා.අවුරුදු විසි අටේදි තමන් අධ්‍යාපන ඇමති වූවා නම් තරුණයින්ට විදුහල්පතිවරුන් වීමට බැරි ඇයි යැයි අගමැතිතුමා ඒ අවස්ථාවේදි පැවසුවා.

ඊළඟ ජනවරමින් පසු අප තවත් සහන ජනතාවට ලබා දෙනවා.අප දින සියයේ වැඩ සටහනින් සියලු දේ ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් තබා ගෙනයි.අගමැතිතුමාගේ පරිනත නායකත්වයෙන් බහුතර බලයක් ඇතිව ආණ්ඩුවක් බිහි කළ පසු ජනතාවට ලැබෙන සහන ගැන කිව යුතු නොවේ.රැකියා දස ලක්ෂයක් ඇති කිරිමට එතුමා සැලසුම් කර තිබෙනවා.

ඇල්පිටිය නගරය සැලසුම් සහගත නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා නාගරික සංවර්ධන ඇමතිවරයා සමග මා සාකච්ජා කර තිබෙනවා යැයිද ඇමතිවරයා කිය.

මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රිවරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.