හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් කදුරුවෙල දී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරයේ දී පැවැත්වේ.

අප්‍රේල් මස 15 වැනි දින පෙ.ව.9.06ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑම සිදු කෙරේ. උත්සවයේ සංවිධාන කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, උතුරුමැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සිදුකරනු ලැබේ.

එම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය හසන් අලී යන මැති ඇමැතිතුමන්ලා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගිවීමට නියමිත අතර හිසතෙල් ගැල්වීමේ ප්‍රධාන මණ්ඩපයට අමතරව ජනතාවගේ පහසුව වෙනුවෙන් පරිවාර මණ්ඩප ගණනාවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබේ. එමෙන්ම මෙම අවස්ථාවේදී අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයද සිදුකරනු ලබයි.

මේ වනවිට හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදුකිරීම සඳහා අවශ්‍ය නානු සහ ලිත් දිවයිනේ සියලුම පන්සල් සහ ආයුර්වේද වෛද්‍යවරුන් වෙත තැපැල් මාර්ගයෙන් යැවීමට කටයුතු කර ඇති බව ආයුර්වේද කොමසාරිස් මහතා සඳහන් කරනු ලබන අතර මෙම හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා සියලු ලක්වාසී ජනතාවට සහභාගි වන ලෙස ද ආරාධනා කර සිටී.