රනිල්-චන්ද්‍රිකා හමුවක්

Wickremsinghe Chandrikaදහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා උදෑසන පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

දැනට ඉදිරිපත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් එම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණු බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ට පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ සිය වගකීම ඉටු කරමින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ බවටත්, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සිය වගකීම ඉටු කරමින් එය සම්මත කර ගැනීම සඳහා උදව් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිනිය හමුවේ ප්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟද විශේෂ සාකච්ඡාවක් පවත්වනු ඇතැයි තතුදත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. පාකිස්ථානයේ නිල සංචාරයක නියැළුණු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණියේ අඟහරුවාදා රාත්‍රියේය.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මන්ත්‍රි කණ්ඩායම අතර ව්‍යවස්ථා සංශෝධනයට සහය දීම සම්බන්ධයෙන් ප්‍රධාන මත දෙකක් පවතිත බව වාර්තා වේ. මෙයින් එක් පිරිසක් දැනට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සහයෝගය ලබා දිය යුතු බව ප්‍රකාශ කරන අතර අනෙක් කණ්ඩායමේ මතය වී ඇත්තේ සංශෝධන රහිතව මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඉඩ ලබා නොදිය යුතුය යන්නය.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 09 වැනිදා සහ 10 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එහි ඡන්ද විමසීම අප්‍රේල් 10 වැනිදා පස්වරුවේ සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණු සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ මත ඉහත දින වකවානු වෙනස් වීමේ ඉඩකඩක් ද පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ‘දිනමිණ’ ප්‍රකාශ කළේය.

මේ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනම හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට තුඩු දී ඇති කරුණු කිසිවක් සාකච්ඡා නොවුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.