යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි

ශ්‍රී ලංකාවට යළි පැමිණීමේ අපේක්ෂාවෙන් යේමනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 40 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව රජය අවධාරණය කරයි. මේ වනවිට යේමනයේ යුද ගැටුම් පවතින සානා අගනුවර සහ අනෙකුත් ප්‍රදේශවලින් ඔවුන්ව ඉවත්කර ගෙන තිබෙන අතර සානා අගනුවරට කිලෝමීටර් 200ක් ඈතින් පිහිටි හො‍දෙයිදා වරාය ප්‍රදේශයට ඊයේ (06) වනවිට රැගෙනවිත් තිබෙන බව වැඩබලන විදේශ කටයුතු ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

චීනය, සෞදි අරාබියාව සහ යේමන් රජය සමඟ සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට යුද ගැටුම් පවතින කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් ඉවත්කර ගැනීමට හැකිව තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා හොදෙයිදා වරායේ සිට චීනයට අයත් නැවක් මාර්ගයෙන් මේ පිරිස ඊයේ පස්වරුව වනවිට ජිබුටි රාජ්‍ය වෙත ගෙනඒමට නියමිතව තිබූ බවද පවසයි.

වැඩබලන විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (06) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් කිසිඳු අනතුරක් නොමැති බවත් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනා ජිබුටි රාජ්‍යයේ සිට ගුවන් මඟින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව විදෙස් රටවල් කිහිපයක සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමක ප්‍රතිඵළයක් වශයෙන් මේ ශ්‍රී ලාංකිකයන් පිරිස යේමනයේ ගැටුම් පවතින කලාපයෙන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද එය ඉතාම දුෂ්කර කාර්යයක් බවද වැඩබලන ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට යේමනයේ රැකියා කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ගොඩබිම් මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව සඳහන් කළ ඒ මහතා එරට රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකු ලියාපදිංචි වී සිටින බවද එයින් 40 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් කළේය.

යේමනයේ සිටි මේ පිරිස චීනයට අයත් ගුවන් යානාවක් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට උත්සාහ කළද යේමනයේ සානා අගනුවර පවතින දරුණු ගැටුම් හේතුවෙන් ගුවන් යානා ගොඩ බැස්සවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බවද ඒ හේතුවෙන් නැව් මඟින් ගෙනඒමට සිදුව තිබෙන බවද අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මේ අතර ඒ මහතා ඉල්ලීමක් කළේ යේමනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා‍ගෙන තිබෙන බවට දැනුම්දීමක් කරන තෙක් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.