යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ.ය යළි තහනම්

ltteඑල්.ටී.ටී.ඊ.ය සංවිධානය නැවත වරක් යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කරවා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.  එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන ලෙස යුරෝපා අධිකරණයක් විසින් පසුගියදා තීරණයක් ලබාදුන් නමුත් යුරෝපය තුළ එල්.ටී.ටී.ඊ. තහනම තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති අතර එය මෙරට මෑත කාලීනව ලැබූ විශිෂ්ටතම රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් වන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

යුරෝපා සංගමය තුළ තහනම් ත්‍රස්ත සංවිධාන ඇතුළත් නවතම ලැයිස්තුවට යළිත් වරක් එල්.ටී.ටී.ඊ.ය සංවිධානයද එක්කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ විදේශ ප්‍රතිපත්ති මේ සඳහා ප්‍රබල ලෙස බලපා ඇති බවත් අජිත් පී.පෙරේරා මහතා මාධ්‍ය වෙත පැවැසීය. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. යුරෝපා සංගමය 2006 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රථම වරට තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ අතර, එතැන් පටන් වාර්ෂිකව යුරෝපයේ තහනම් සංවිධාන ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ.ය එක් කරලීමටද පියවර ගත්තේය.2011 වසරේදී යුරෝපා සංගමය නැවත වරක් , එල්.ටී. ටී.ඊ. තහනම දීර්ඝ කළ අතර එහිදී ද්‍රවිඩ සංවිධාන කිහිපයක් ඊට එරෙහිව නඩු පවරන ලදී. පසුගිය වසරේදී එම නඩුවේ තීන්දුව ලබා දෙමින් යුරෝපා මහාධිකරණයක් ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. තහනම පනවා ඇති ආකාරය නීත්‍යනුකූල නොවන බවයි. නමුත් එම අධිකරණ තීරණයද නොතකා යුරෝපා සංගමය මේ වන විට නැවතත් එල්.ටී.ටී.ඊ. තහනම් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.