ශ්‍රී ලංකා ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා ඉහළින් අගය කරනවා

- චීන ජනපති ෂින් ජින්පින් කියයි

ගාමිණී සුමනසේකර සහ කුෂාන් සුබසිංහ චීනයේ බීජිං නුවර සිට

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තිය තමන් ඉතා අගය කරන බව චීන ජනාධිපති ෂින් ජින්පින් මහතා චීනයේ මහජන මහ ශාලාවේදී ඊයේ (26 වැනිදා) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී පැවැසීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතා පෙරටත් වඩා හොඳින් පවත්වාගෙන යාමට තමන් එකඟ බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්‌ඩුව ගෙන යන යහපාලන ප්‍රතිපත්තියද මෙහිදී අගය කළ චීන ජනපතිවරයා චීනයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරදෙන ලෙසත් චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති ප්‍රමුඛ දූත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමටත් ශ්‍රී ලංකාව, චීනය සහ ඉන්දියාව එකතුව සම්බන්ධතා පවත්වාගෙන යා යුතු බවත් චීන ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

චීනය ශ්‍රී ලංකාවට ආර්ථික හා සමාජයීය කටයුතුවලදී විශාල ලෙස උදව් කර ඇති බවත් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර දහස්‌ ගණනක්‌ පැරැණි බවත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සිහිගැන් වූවේය.

1983 වසරේ පළමු වරට තරුණයෙකු ලෙස චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ආරාධනාවකට අනුව තමා චීනයට පැමිණි බවත් ඉන් අනතුරුව ඇමැතිවරයෙකු ලෙසත්, මන්ත්‍රීවරයෙකු ලෙසත් තමන් චීනයට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීය. ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වීමට බලපෑ ප්‍රධාන හේතුව තමාගේ ශ්‍රීලනිප නායක එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා 1956 දී බලයට පත්වී චීනය සමග ඇති කරගත් සම්බන්ධතා බවත් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.