චීනයෙන් ශ්‍රී ලංකාවට අංගසම්පූර්ණ වකුගඩු රෝහලක්‌

කුෂාන් සුබසිංහ චීනයේ සිට

ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ වකුගඩු රෝහලක්‌ ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මහතා අතර ඊයේ (26දා) පෙරවරුවේ පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමක්‌ අනුව චීන ජනාධිපතිවරයා මේ සඳහා සිය එකඟතාව පළ කළේය.

චීනයට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ පෙරවරුවේ චීන ජනාධිපති ෂිං ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකා ජනාධිපති වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරද එහිදී පිළිගැන්වුණු අතර අනතුරුව දෙරටේ දූත පිරිස හඳුනා ගැනීම සිදු විය.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ චීන රජය මෙතෙක්‌ ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ඉතා ඉහළින් අගය කරන බවය. චීන රජය ලබාදුන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන ගෙවී ගිය කාලයටත් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගන්නා බව මෙහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. ඊට ඉහළ ප්‍රතිචාර දැක්‌වූ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියේදී තව තවත් තහවුරු කෙරෙන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජනතා නායකයෙකු ලෙස රටේ අභ්‍යන්තර කටයුතුවලදී ගෙන යන දූෂණයෙන් තොර යහපාලන ප්‍රවේශය මෙහිදී චීන ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්‌විය.

වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දෙන සංවර්ධන සහයක්‌ පෙරටත් වඩා ශ්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී පැවසූ චීන ජනාධිපතිවරයා සාර්ක්‌ රටවල් සමග සහයෝගීතා වැඩ පිළිවෙලකටද එකඟතාව පළ කළේය. ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවලදී ශ්‍රී ලංකාවට උපරිම සහයක්‌ තව දුරටත් ලබා දෙන බව ද චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය.