උතුරු නැඟෙනහිර පානීය ජල ගැටලුව විසඳන්න කටාර් රජය ඉදිරිපත් වෙයි

n15032514උතුරු නැ‍ඟෙනහිර පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍ය සිය කැමැත්ත පළ කර එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට එරට අමාත්‍ය නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට එවන බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂික් තමීම් බින් හාමඩ් අල් තානි මහතා පැවැසීය.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කටාර් එමීර්වරයා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි කටාර් එමීර්වරයාව ජනාධිපතිතුමා මහත් හරසරින් හා අභිමානවත් අයුරින් පිළිගත්තේය.

ආචාර වෙඩි මුර පවත්වා කටාර් රාජ්‍ය නායකයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ උත්තමාචාරය පිළිගැන්විණි.

අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. එහිදී කටාර් එමීර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම ශ්‍රී ලංකා නිල සංචාරය කෙටි සංචාරයක් වුවත් එය ඉතා වැදගත් සංචාරයක් බවයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ නංවන ලෙස මෙහිදී ජනාධිපතිතුමා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටි අතර කටාර් රාජ්‍යයද ඒ සඳහා මහත් උනන්දුවකින් පසුවන බව පැවසු කටාර් එමීර්වරයා ඊට අවශ්‍ය ක්‍රමවේදය ඉදිරියේ දී ශක්තිමත් කරන බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගවේෂණ කටයුතු සඳහා ද මෙහිදී කටාර් රාජ්‍යය සිය කැමැත්ත පළ කර සිටි අතර මන්නාරම් ප්‍රදේශයේ එම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නියෝජිත පිරිසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එවන බව ද පැවැසීය.

දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළ අතර සාකච්ඡා වූහ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එක්ලක්ෂ විසි පන් දහසක් පමණ මේ වනවිට කටාර් රාජ්‍යයේ සේවය කරන අතර ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නංවන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර තරුණ, ක්‍රීඩා කටයුතු සහ ජනමාධ්‍ය පිළිබඳ ගිවිසුම් තුනකටද රාජ්‍ය නායකයන් ඉදිරියේ අස්සන් තැබිණි.

ක්‍රීඩාවලට අවශ්‍ය පහසුකම් නැංවීම මෙන්ම තරුණ පුහුණු කටයුතු සහ ප්‍රවෘත්ති හුවමාරු කරගැනීම එම ගිවිසුම්වලට ඇතුළත්ය.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද, කටාර් එමීර්වරයා සමඟ පැමිණි එරට නියෝජිත පිරිස ද මේ අවස්ථාවට එක්ව සිටියහ.