අසල්වැසි රටවල් පවා පාලනය කළ අපට ඇත්තේ සටන්කාමී ඉතිහාසයක්

ශ්‍රී ලංකා ඉතිහාසය සටන්කාමී ඉතිහාසයක්. එම ඉතිහාසය තුළ මේ රට වරින්වර විදේශීය ආක්‍රමණිකයන්ට මුහුණ දී එවකට හිටපු රජවරු විශිෂ්ට ලෙස ජයග්‍රහණයන් ලබා ගත් අතර මහා පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කර රට පාලනය කරා පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් පවා පාලනය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

ෆීල්ඩ් මාර්ෂල් නිල නාමයෙන් ඊයේ පිදුම් ලද ජෙනරාල් ෆොන්සේකා මහතාට එම අභිමානවත් නිලය පිරිනැමීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනාධිපතිවරයා එසේ පැවැසීය.

ආරක්ෂක අමාත්‍යාංශ භූමියේ දී එම අභිමානවත් උත්සවය පැවැත්වුණේ මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි මධ්‍යයේය.

 

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කතා කරමින් අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨ රණවිරුවකු රට වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් ධුරයේ උපහාර ලබන ප්‍රථම අවස්ථාව මෙයයි.

රට වෙනුවෙන් විශාල කැපවීමක් කළ රණවිරුවෙක් විශිෂ්ට ලංකා පුත්‍රයෙක් වශයෙන් එතුමාට අප කළගුණ සැලකිය යුතුයි. ශ්‍රී ලංකා ඉතිහාසය වරින්වර විවිධ ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණවලට ගොදුරු වී එවකට සිටි රජවරු ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ජයග්‍රහණය කර රට එක්සේසත් කළා. එවැනි අද්විතීය විශිෂ්ට ඉතිහාසයක් ඇති මේ රට 80 දශකයේ සිට වසර 30ක පමණ කාලයක් ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රට තුළ හිඳ රටෙන් කොටසක් කඩා ගැනීමට උත්සාහ කළා. ඔවුන්ගේ ඒ අරමුණ විනාශ කිරීමට යුද වැදුණු මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළා. මේ මාතෘ භූමියේ දේශයේ නිදහස උරුම කර ගනු වස් සිදුකළ එම දරුණු සටන්වලින් දහස් ගණනක් ආරක්ෂක අංශ සාමාජිකයන් මිය ගියා. ත්‍රස්තවාදීන් රට තුළ තැනින් තැන පිපිර වූ බෝම්බ සහ වෙනත් ප්‍රහාරවලට ගොදුරු වී සාමාන්‍ය ජනතාව ලක්ෂයක් පමණ මිය ගියා. ඒ ඛේදනීය තත්ත්වයෙන් රට බේරා ගැනීම ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීමට කටයුතු කළා.

2009 මැයි 19වැනි දා වනවිට ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර මේ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට රණවිරුවන්ට‍ හැකිවුණා. ඒ සඳහා කැප වූ රණවිරුවන් අප සිහිපත් කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකිය යුතුයි.

මේ සටනට සෙසු ආරක්ෂක හමුදාවල සහයෙන් නායකත්වය දුන් ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණවිරුවන් කළ කැපවීම අප සිහිපත් කළ යුතුයි. ඔවුන්ගේ ගුණ සිහිපත් කළ යුතුයි. ඔවුන්ට අප ණය ගැතියි. ඒ පරිත්‍යාගය තුළින් මීට වසර හයකට පෙර මේ රටට නිදහස ලබා ගත හැකිවුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලන නායකත්වය ඒ සඳහා ලබා දුන්නා. ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය කර දුර්වල කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා දුන් නායකත්වය වසර දහස් ගණනක යුද ඉතිහාසයේ ‍මේ රටේ ලැබූ යුදමය අත්දැකීම් සමඟ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. ලෝ‍කයේ ප්‍රබල රටවල් පවා ත්‍රස්තවාදීන් සමඟ සටන් කර ජයග්‍රහණය කිරීමට අපොහොසත්ව තිබියදී ලෝකයේ ප්‍රබල ම ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරීමට මේ රටේ ආරක්ෂක හමුදාවන්ට හැකිවීම රට ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා ‍ෙමහිදී ප්‍රකාශ කළේය. ඒ ජයග්‍රහණය ලැබූ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට මෙන්ම අද ෆීල්ඩ් මාර්ෂල් නිල නාමයෙන් ඇගයෙන ජෙනරාල් සරත් ෆොන්සේකාට තමාගේ ගෞරවය මෙන් ම රටේ ජනතාවගේ ගෞරවය ද මෙහිදී දක්වන බව කීය.

මෙම ගෞරවය පිරිනමන අවස්ථාව ඓතිහාසික අවස්ථාවක්. ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙම ගෞරව නාමය පිරිනැමීම වෙනුවෙන් මේ රටේ සෑම කෙනෙකු ම සතුටු වන බවත් සුබපතන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.