20 සම්මත වන තුරු විසුරුවන්නේ නෑ

rajitha 4මැතිවරණ ක්‍රමය සංශෝධනය කැරෙන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේ විසුරුවන්නේදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. ආණ්ඩුව වසර දෙකක් පමණ ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිදු අදහසක් රජයට නොමැති බවත්, 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු එළැඹෙන සතිය හෝ දෙක ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කෙරෙනු ඇති බවත් ඇමැතිවරයා පවසයි.

කුමන බාධක පැමිණිය ද19 වැනි සංශෝධනය සම්මත කර ගත් අයුරින් විසි වැනි සංශෝධනය ද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට රජයට හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එනම් මන්ත්‍රීවරුන් 150 දෙනකුගේ ඡන්දය පමණක් බවත් ඒ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ(25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

ජනාධිපතිවරයාගේ බලතල අඩු කළ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට වීරයන් මෙන් ඉදිරියට පැමිණි පිරිසට තමන්ගේ බලතල අඩු කරන්න යනවිට අමාරු වන බව 20 වැනි සංශෝධනයට එරෙහි වීමෙන් පෙනී යන්නේ යැයි ද ඇමැතිවරයා පවසයි. රජයට පාඩු සිදුවිය හැකි වුවත්, පෞද්ගලිකව තමන්ට පාඩු විය හැකි වුවත් තමා මෙන්ම ජනාධිපතිවරයා ද සිටින්නේ 20 සම්මත කළ යුතුය යන දැඩි තීන්දුවේ යැයි ද කීය.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී අමරතුංග , යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර , නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ් මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට සහභාගී වූහ.