සතියකින් 20 සම්මත නොවුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

sobitha himiසතියක කාලයකින් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

ඊළඟ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය යුත්තේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යයි ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ඉදිරියේ දී රටේ පොදු වැඩ රාශියක් කිරීමට තිබෙන නිසා ඒ සඳහා ජාතික ආණ්ඩුවක් පත්කර ගත යුතු බව ද සෝභිත නාහිමියෝ පැවැසූහ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත නාහිමියෝ මේ අදහස් පළ කළේ ඊයේ(25) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

විසි වන සංශෝධනයට පුළුල් සුජාත භාවයක් සහ පිළිගැනීමක් නොමැති බවත් ව්‍යවස්ථා සංශෝධන කිරීමේ දී එයට එකතුකර ගන්නා විශේෂඥ දැනුම සමඟ දේශපාලන අභිලාශයන් එකතු වුවහොත් බරපතළ ගැටලු ඇතිවන බවත් මෙම අවස්ථාවට සහභාගිවෙමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරයේ සාමාජික කතිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.