19 වැනි සංශෝධනය මැතිසබයට

SL parlimentවිධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කෙරෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවට ඊයේ (24) ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පතේ දෝෂ හේතුවෙන් එය සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයකට යාමට සිදුවනු ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල  ද සිල්වා මහතා සහ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ කථානායකවරයාගේ අවධානයට යොමු කළහ.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා -
19 වෙනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගන්න තමයි මුලින්ම සාකච්ඡා කෙරුවේ. නමුත් මේ වගන්ති එකකට එකක් හැප්පෙන තත්ත්වයක් තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කවුද, විධායකය කවුරුන්ද යන්න පැහැදිලි නැහැ. මේ නිසා ජනමත විචාරණයකට තල්ලු වෙයිද කියා කියන්න දන්නේ නැහැ.
19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා වගේම මැතිවරණ ක්‍රමය සංශෝධනයටත් යන බව මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පනත් දෙකම එකට සම්මත කරනවා.

අගමැති -
ජනමත විචාරණයකට නොයන විදියකට තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. කොහොම වුණත් නීතිපතිවරයා කියලා තියෙන්නේ අධිකරණ තීන්දුවට පසුව සංශෝධන ඉදිරිපත් කරන්න කියලායි. මේ වෙනකොට මේ පනතට එරෙහිව අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවායේ තීන්දු ආවාට පස්සේ අපි සංශෝධන ගේනවා. කොහොම වුණත් අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි ගන්නේ. ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරගෙන යනවා.

අතුරලියේ රතන හිමි -
 ජනමත විචාරණයට තුඩු දෙන කරුණු තිබෙන බව අපටත් පේනවා. අපි කිව්වේ විධායකයේ අහිතකර බලතල ඉවත් කරන්න කියලායි. නමුත් එතනට නොවෙයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ පනත හදලා තියෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ලෙසයි. පක්ෂ අතර සාකච්ඡාවකට ඉඩ නොදී තීන්දු තීරණ ගන්නවා. අපට කියන්නේ නැතුව කැබිනට් මණ්ඩලයට ඊයේ මේ පනත දාලා අද ගෙනල්ලා තියෙනවා. මේ නිසා අපි අපේ අප්‍රසාදය පළ කරනවා.