18042024Thu
Last update:Mon, 04 Mar 2024

19 විධායක බලය පාර්ලිමේන්තුවට

රාජ්‍ය පාලන තන්ත්‍රයේ සහ රටේ පොදු යහපත වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යෝජිත දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කිසිදු ආකාරයකින් රට අස්ථාවර නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි. මේ හරහා අවම විධායක බලතල සහිත ජනාධිපතිවරයකු යටතේ පාර්ලිමේන්තුව ශක්තිමත් වන බව පෙන්වාදෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඒ තුළන් අගමැතිවරයා ශක්තිමත් වනවා යනු මිථ්‍යාවක් බවද අගමැතිවරයා යනු තනි මතයට කටයුතු කළ නොහැකි ඇමැති මණ්ඩලයේම සමාන පුද්ගලයන් අතර ප්‍රමුඛයකු බවද කියාසිටී.

එළඹෙන 20 දා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටේ පොදු යහපත වෙනුවෙන් කැමැත්තක් දක්වන කිසිවෙකු ඊට එරෙහි නොවන බවද අදාළ කෙටුම්පත ගැසට් කළපසු විරුද්ධ වූ විශාල පිරිසක් මේ වනවිට එකඟතාවය පළකර තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් වීම අවශ්‍ය වන බවත් ඒ තුළින් වැදගත් කරුණු රැසක් කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබෙන බවත්ය.

ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වන අතර පාර්ලිමේන්තුවේ ධූර කාලයෙන් වසර හතර හමාරකට පසුව අවශ්‍ය නම් විසුරුවා හැරීමේ හැකියාව, ඊට පෙර විසුරුවා හරින්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වීම, හදිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය අහෝසි වී යාම, ජනාධිපතිවරයාගේ ධුර කාලය උපරිම වශයෙන් වාර දෙකකට සීමා කිරීම, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව, අගමැතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කිරීම ආදිය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ක්‍රියාවට නංවන අතර ඒ තුළින් මේ රටට, ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රදාවට තුලනක් ඇතිවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

නව පනත සම්මතවීමත් සමඟ නීතිපති, විගණකාධිපති, පොලිස්පති, අගවිනිසුරු, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු රජයේ ප්‍රධාන නිලධාරීන් පත් කිරීමේ දී ජනාධිපතිවරයාට නමක් යෝජනා කළ හැකි වන අතර එය සළකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එකඟවන්නේ නම් පමණක් ජනාධිපතිවරයාට අදාළ පත්කිරීම සිදුකළ හැකි බවද එකඟ නොවන්නේ නම් ජනාධිපතිවරයාට වෙනත් අයෙකුගේ නමක් යෝජනා කිරීමට සිදුවන බවද පැවසීය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ නව කොමිෂන් සභා හතරක් පිහිටුවීමට පියවර ගෙන තිබෙන අතර ප්‍රසම්පාදන කොමිෂන් සභාව, ජාතික විගණන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මෙලෙස ඇතිකිරීමට පියවර ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂය මාරුකරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය ශ්‍රේෂාධිකරණයට පැවරීමට යෝජිත දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හැකි බවත්ය.

රටේ පවතින මැතිවරණ ක්‍රමය ද වෙනස් කළයුතු බව සඳහන් කළ ඒ මහතා එය ව්‍යවස්ථා සංශෝධනය හා ඒකාබද්ධව සිදුකළ යුතු නොවන බවද ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවද කීවේය.