29032024Fri
Last update:Mon, 04 Mar 2024

19 සම්මතවීමෙන් පසු මැති සබේ විසුරුවනවා

ජනපති පොළොන්නරුවේ දී කියයි

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ලබන 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමෙන් පසු මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවන්නට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පොලොන්නරුවේදී පැවැසීය.

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ සහ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන හැල හැප්පීම්, අවුල් සහගතභාවය ඉදිරි මහ මැතිවරණයත් සමඟ අවසන්වනු ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් සහ පාසැල් ක්‍රීඩා සමාජ 365ක් සඳහා රුපියල් ලක්ෂ 100ක් වටිනා ක්‍රීඩා උපකරණ බෙදාදීම නිමිත්තෙන් පොළොන්නරුව පුලතිස්පුර අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැති උත්සවයකදීය.

මෙහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

මේ දිනවල මූලික වශයෙන් රටේ දේශපාලනය තුළ පාර්ලිමේන්තුව තුළ ඒ අයගේ හැල හැප්පීම් ඔක්කොම ඉවර වෙනවා ඉදිරි මහ මැතිවරණයත් එක්ක. දැන් ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් මම ජනතාවට දුන්නු පො‍රොන්දු ඉෂ්ට කරන්න ඕන. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ලබන විසිවෙනිදා පාර්ලිමේන්තුවට ගේන්න අපි ඊයේ තීරණය කළා පක්ෂ නායකයෝ අපි සියලුදෙනාම සාකච්ඡා කරලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ සම්බන්ධයෙන් ලැබිලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා මේ බලතල අඩුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන බලතල කොයි ආකාරයෙන්ද කියලා. මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ලබන විසිවෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමත් එය සම්මත කර ගැනීමත් කර ගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවන්නට.

ඒ තුළ බොහෝ වේලාවට මේ රට තුළ දේශපාලන වශයෙන් යම් යම් අවුලක් වගේ පෙනෙන තත්ත්වය නිරවුල් වෙනවා. ඒ කාර්යය ඉටුකිරීමට මා බලාපොරොත්තු වෙනවා.

සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක, ‍තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති පේමසිරි මුණසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී. ජී. කුමාරසිංහ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.