19 ව්‍යවස්ථාවට අනුකූලයි

n1504102ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මැතිසබේට දන්වයි

9 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (1) වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවට කියා සිටිෙය්ය.

 

ඒ සමඟම විධායක ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයාට පැවරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ එන ව්‍යවස්ථා දෙක ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි ද කතානායකවරයා දන්වා සිටියේය.

යෝජිත දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (1) වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන බවත්, යෝජිත කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ බහුතර ඡන්දයකින් එනම් තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව රාජපක්ෂ මහතා තවදුරටත් දන්වා සිටියේය.

මේ අනුව යෝජිත ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII ඡේදය ඉවත් කර ඉදිරිපත් කර ඇති සංශෝධනයට අයත් 42 (3) වන “අගමැතිවරයා ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා වන්නේය.” 43 – (1) අගමැතිවරයා ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව හා විෂය කාර්යයන් තීරණය කිරීම 43 (3) ඇමැතිවරුන්ගේ විෂය කාර්යයන් වෙනස් කිරීමට අගමැතිවරයාට බලය ලබා දීම.

44 (2) ඇමැතිවරුන්ට භාර දෙන අමාත්‍යාංශ අගමැතිවරයා තීරණය කිරීම.

44 (3) ඇමැතිවරයාගේ විෂයන් වෙනස් කිරීමේ බලය ද, 44 (5) ඇමැතිවරුන්ගේ යම් කාර්යයක් කැබිනට් නොවන ඇමැතිවරුන්ට පැවැරීමට අගමැතිවරයාට බලය පැවැරීම යන කාරණා ද ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතුය.

මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 අ ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සංශෝධනය කරමින් යෝජිත සංශෝධිත කෙටුම්පතට ඇතුළත් කර ඇති 26 වන ව්‍යවස්ථාවේ 5 ඇ ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණු ද ජනමත විචාරණයකින් අනුමත කර ගත යුතුයි. ඒ අනුව මැතිවරණයක් පැවැත්වෙන සමයක සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යයන් නිසි බලධාරියකු යටතට පත්කළ යුතුය යන ව්‍යවස්ථාව බලාත්මක වන්නේ ජනමත විචාරණයකිනි.