රාජ්‍ය ආරක්ෂාව ගැන අපි සැමවිටම සීරුවෙන් ජුලි 04 2016 01:31 0 විජයානී එදිරිසිංහ

colkarunasena hettiarachchiඅයි. එස්. අයි. එස්. සංවිධානය බංග්ලාදේශයේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා නොව ඊට බොහෝ කාලයකට පෙර ‍සිටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට බුද්ධිඅංශ දැඩි අවධාරණයකින් සිටින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

‘අපේ රටේ ආරක්ෂාව කෙරෙහි අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ නිරතුරුවම අවධානය යොමු කර දැඩි සැලකිල්ලකින් කටයුතු කරමින් ලබාගන්නා තොරතුරු ගැන ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කරන බව ද ලේකම්වරයා තවදුරටත් තහවුරු කර සිටියේ ය. ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (02) බංග්ලාදේශයේ ඩකානුවර අවන්හලකට කඩාවැදී ඔවුන් එල්ල කළ ප්‍රහාරයේ පසු මෙරට ආරක්ෂාව පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී ය.

ශ්‍රී ලාංකික යුවළක් ඇතුලු 32ක් අයි. එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඉන් 20 දෙනකු ඝාතනය කර තිබිණි. දකුණු ආසියාතික රටක අයි. එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඩකානුවර රාජ්‍යතාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ලවූ අයි. එස්. සන්නද්ධ ප්‍රහාරයේදී ඇපයට ගැනුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මේ වනවිට ඩකානුවර හමුදා රෝහලකට ඇතුළත් කර තිබේ. ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඔවුන් බැලීමට ගොස් ඇත. ශ්‍රී ලාංකික යුවළගේ තත්ත්වය ‍යහපත් බව එම නිලධාරීහු සඳහන් කරති. ඔවුන් ළඟදීම යළි මෙරටට පැමිණීමට නියමිත බව ද එම තොරතුරු තවදුරටත් සඳහන් කරයි.

අයි. එස්. අයි. එස්. සංවිධානය බංග්ලාදේශයේ සිදුවූ එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. එහෙත් බංග්ලාදේශ රජය විදෙස් මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ එම අවන්හලට එල්ලවූ ප්‍රහාරය අයි. එස්. සංවිධානයේ ප්‍රහාරයක් නොව බංග්ලාදේශයෙන්ම ස්ථාපිත වූ වෙනත් ඉස්ලාමීය සංවිධානයක ප්‍රහාරයක් බවයි.

එම ප්‍රහාරය එල්ල කළ පිරිස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සම්බන්ධතාවයක් නැති බවත් ඊට සම්බන්ධවූවන්ගේ ඥාති මුතුන්මිත්තන් පවා බංග්ලාදේශ රජය විසින් හඳුනාගෙන ඇති බව ද එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ආයදු සාමන් ඛාන් විසින් පවසා තිබේ. කෙසේවෙතත් මෙරටින් අයි. එස්. අයි. එස්. සංවිධානයට සම්බන්ධව පුද්ගලයන් සම්බන්ධව පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාති හිතවතුන් ගැන ද ඔවුන් විසින් කරන කියන සැම කටයුත්තක් සම්බන්ධව ද ආරක්ෂක බුද්ධි අංශ නිරතුරුවම දැඩි අවධානයෙන් පසුවෙයි.