ගංවතුර මරණ 64යි, 430,000කට පීඩා

colombo 1ආපදා තත්ත්වය හේතුවෙන් ‍හාර ලක්ෂ තිස්දහසකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇත. මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 64ක් වන අතර, හාරලක්ෂ තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටී. නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ද 144 දක්වා ඉහළ ගොස් තිබේ.

ආරක්ෂිත ස්ථාන 611ක් පුරා තුන් ලක්ෂයට අධික පිරිසක් තාවකාලිකව රඳවා තිබෙන අතර, ආපදාවට පත් වූ පවුල් 64309 ක පුද්ගලයන් 319507 ක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි වාර්තා වන බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඊයේ (20) පෙරවරු 7.00 වන විට නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.2 ක් ලෙස සටහන් වී ඇති අතර එය පෙර දිනයේ 7.65ක් ලෙස වාර්තා වී තිබිණී. එමෙන්ම හංවැල්ල සහ හංවැල්ල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද පහත ගොස් තිබේ.

අරණායක සිරිපුර නායයාම් සිදු වූ ප්‍රදේශයේ අතුරුදන් වූ පුද්ගලයන් සොයා යුද හමුදාව ඊයේ (20) දිනත් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර දහවල් වන විට එක් මළ සිරුරක් සොයා ගැනීමට සමත් වී තිබිණි. මෙම නාය ගිය ප්‍රෙද්ශයට ප්‍රවේශ වන මාර්ග සියල්ලම දැඩි ජල පහර නිසා ඇහිරී තිබෙන බැවින් අතුරුදන් වූ පුද්ගලයන් සොයන මෙහෙයුමට බාධා පැමිණ ඇති බව යුද හමුදාව කියයි. නාය ගිය මෙම ප්‍රදේශය අඩි 80 ක පමණ උස ,මඩපස්තට්ටුවකින් වැසී ඇති නිසා හමුදා භට කණ්ඩායම් අපහසුතා රැසකට මුහුණ දී ඇත.

මෙම මෙහෙයුම් සිදු වන ප්‍රදේශවලට ජනතාවට ඇතුළු වීම ඊයේ සිට තහනම් කර ඇති අතර නායගිය ප්‍රදේශවලට මෙසේ පිරිස් ඇතුළු වීම මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබේ. බුලත්කොහුපිටිය කලුපහන වත්ත ප්‍රදේශයේ කලුපහන කන්ද 18 දින අලුයම සිට නාය යෑමට පටන් ගැනීම හේතුවෙන් අතරුදහන් වු පුද්ගලයන් සොයා ඊයේ (20) දිනයේදී ද යුද හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම හා සහන සේවා සඳහා යොදවා ඇති 14 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා භට පිරිස් විසින් සොයා ගැනු ලැබූ මුළු මළ සිරුරු සංඛ්‍යාව 14ක් වේ.

කැගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සිරිපුර, එලගපිටිය පල්ලේබාගේ යන ගම්මාන අශ්‍රිතව ඇතිවූ නාය යෑම හේතුවෙන් එහි පදිංචි ජනතාවගේ නිවාස 130කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්වූ අතර ඉන් අවතැන්වූ ජනතාව මේ වන විට විහාරස්ථාන හා පාසල් ඇතුලු තාවකාලික මධ්‍යස්තාන 07ක ආරක්ෂිතව රඳවා තැබීම සඳහා යුද්ධ හමුදාව පුර්ණ දායකත්වය ලබාදෙන අතර අතුරුදන් වු අය අතුරින් මළ සිරුරු 14ක් හා සිරුරු කොටස් කිහිපයක්ද මේ වන විට සොයාගෙන ඇත. අතරුදන්වූවන් සොයා යුද්ධ හමුදා භට පිරිස් තව දුරටත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී.

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 42,000කට ආසන්න වන අතර, පුද්ගලයන් 185,000කට අධික පිරිසක් අවතැන් වී සිටී. මේ පුද්ගලයන් අතරින් 185,827ක් ආරක්ෂිත ස්ථානවල යොමු කර ඇති අතර, පූර්ණ නිවාස හානී සිදූ වූ සංඛ්‍යාව 19කි. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 25,000ක් පමණ ගංවතුරෙන් අවතැන් වී සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 2,312ක් වන අතර, 9000කට අධික පුද්ගලයන් පිරිසක් පීඩාවට පත්ව සිටිති.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 75,000කට අධික ප්‍රමාණයක පුද්ගලයන් 320,000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති අතර, ආරක්ෂක ස්ථාන කරා පවුල් 57,170ක පුද්ගලයන් 95,384ක් යොමු කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ 3,117ක පුද්ගලයන් 12,172ක් ගංවතුරෙන් විපතට පත්ව සිටින අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 6,426ක පුද්ගලයන් 26,381 ක් ගංවතුරෙන් හා නායයාම්වලින් විපතට පත්ව සිටිති. මෙම දිස්ත්‍රික්කයේ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 34ක් වන අතර, අතුරුදන්වූ පිරිස 132කි. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 6,611ක පුද්ගලයන් 24, 874ක් ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටී.

මේ අතර වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළත් අඛණ්ඩව පැවතුනහොත් දිවයිනේ දිස්ත‍්‍රික්ක 7ක නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක සඳහා මෙම අවදානම පවතී. ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකරන නායයෑම් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම විහිළුවට නොගන්නා ලෙසත්, සෑමවිටම නිකුත් කරන අවදානම් තත්ත්වය පිළිබඳ ජනතාව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ අස්වාභාවික ලෙස ඉරිතැලීමක් ජල පහරවල් මතුවීමක් වැනි වෙනස්කම් සිදුවුවහොත් ඒ පිළිබඳවද දැඩි අවධානය යොමු කරන ලෙසත්, අදාළ ප්‍රදේශ පිළිබඳ අවදානම් නිවේදන නිකුත් කර නොතිබුණද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 84 කින් නාය යාම් සිද්ධීන් වාර්තා වී ඇති අතර, මේ නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොල හා රඹුක්කන, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් කඳු ආශ්‍රිත ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, රත්නපුර, බලංගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, ඇලපාත, ඕපනායක, කහවත්ත, ඉඹුල්පේ කඳු ආශ්‍රිත ප්‍රදේශ නායයෑමේ දැඩි අවදානමකට ලක්ව තිබේ.

ගංවතුරින් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ ක්‍රියාන්විතයන්හි නාවික හමුදාව තවදුරටත් නිරත වෙමින් පවතින අතර, ඒ අනුව මේ වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 15,000 කගේ ජීවිත බේරා ගෙන බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කර ඇති බව නාවික හමුදාව කියයි. එමෙන්ම අවතැන්වූවන්ට ආහාර ලබා දීමේදී කිසියම් ගැටලුවක් ඇත්නම් 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි ය.ඊට අමතරව 011 2 670 002 අංකය වෙත ද දැනුම් දිය හැකි බව‍ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මේ අතර තල්දූව, හංවැල්ල, රනාල, නවගමුව, මල්වාන, කෑගල්ල, කඩුවෙල, මුල්ලේරියාව, දොම්පේ, පූගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, බියගම, ‍කොටිකාවත්ත, අංගොඩ, කැළණිමුල්ල, වවුනියාව, විලච්චිය සහ මන්දගල්ආරු යන ප්‍රදේශයන්හි මුදා ගැනීමේ කණ්ඩායම් 81 ක් ස්ථානගත කර ඇති අතර, හදිසි අවස්ථාවන්වලදී සහාය දැක්වීම සඳහා තවත් කණ්ඩායම් 40 ක් සියළුම ගංවතුර තර්ජන සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි කදවුරු වල සූදානමින් තබා ඇති බවත් නාවික හමුදාව පවසයි. ජල ගැල්මෙන් හා නායයාමෙන් විපතට පත් ජනතාව ඉන් මුදා ගැනීමටත්ඊයේ දිනයේදී ගුවන් හමුදාවද පියවර ගෙන තිබිණී .. මේ අතර ජලගැලීම්වලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා නවගමුවේ පිහිටි ගුවන් හමුදා වැඩබිම වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.950 ක්(උතුරට බරව) ඊසාන දෙසින් පිහිටා ඇති අතර එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා විටින් විට ඉහළ යාමට තව දුරටත් ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රෙද්ශ ඉතා රළු වන හෙයින් ධීවර හා නාවික ප්‍රජාව මේ ගැන සැලකිලි මත් වන ලෙස පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනෙහි වැසි තත්ත්වයත් ඉදිරි දින දෙක තුළදී අඩු වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ මූලික වශයෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් ආපදා සහන කටයුතු සඳහා වෙන් කර ඇත.