පොලොන්නරුව පොසොන් මහා බත් දන්සල 56 වන වරටත් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Presidential Media Unit Common Banner 1පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක – සේනානායක පොසොන් මහා බත් දන්සල 56 වන වරටත් අද (19) දහවල් පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැද පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොලොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දන්සල ආරම්භ කෙරිණි.

පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් දන්සල වෙත පැමිණ සිටි අතර ඔවුන්ට ආහාර බෙදා දීමට ද ජනාධිපතිතුමා එක් විය.

පොලොන්නරුව පූජා භූමියට පැමිණෙන සැදැහැවත් ජනතාව වෙනුවෙන් අද සහ හෙට දෙදින පුරා දිවා රාති්‍රයේ දන්සල ක්‍රියාත්මක වේ.

දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ, සිඩ්නි ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.