ආර්ථිකයට වන බලපෑමට ක්‍රියාකාරී සැලැස්මක්

sri lankaමහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන දැඩි බලපෑමට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් 'ක්‍රියාකාරී සැලැස්මක්' ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට පෙරේදා (25) බාර දෙනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට බාර දෙනු ලැබූ ඉහත වාර්තාව සකස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසිනි.

පරිගණක ගත කරනු ලැබූ පිටු නවයකින් සමන්විත ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඉදිරියේ දී යුරෝපයේ ඇතිවන ආර්ථික විපර්යාසයන්ට අනුව ලංකාව ක්‍රියා කළ යුතු ආකාරය සවිස්තරව පහදා දෙයි. 

මහා බ්‍රිතාන්‍යය විසින් ගනු ලැබූ තීරණයෙන් පසුව යුරෝපා සංගමයේ හැසිරීම හේතුවෙන් මෙරට මත්ස්‍ය අපනයන කටුයුතු සහ ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය යළි ගැනීම ආදී කටයුතුවල දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අසීරුතාවයන් ද මහ බැංකු වාර්තාව මගින් සවිස්තරව විස්තර කර සිටී. ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතාගේ උපදෙස් අනුව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් රජයට බාර දුන් විශේෂ වාර්තාවේ පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර පවතී.

එක්සත් රාජධානිය හෙවත් මහා බ්‍රිතාන්‍යය හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින සබඳතාවලට ද මෙයින් විශාල වශයෙන් බලපෑමක් එල්ල වෙයි. වෙළෙඳ කටයුතුවලට පමණක් නොව, සංචාරක සහ ආයෝජන කටයුතුවලට මෙහි දී බලපෑම් එල්ල වන්නේය.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට මහා බ්‍රිතාන්‍යය තීරණය කිරීමත් සමඟ ගෝලීය ආර්ථික අවපාතයක් නිර්මාණය විය හැකිය.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවිය හැකි දරුණු බලබපෑම අවම කර ගැනීමට අනුගමනය කළ  යුතු ප්‍රධාන යෝජනා පහක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරනු ලැබූ 'ක්‍රියාකාරී සැලැස්මට' ඇතුළත් වෙයි.