සිරි පොද වැසි මැද සිරිපුර වැසියෝ අවසන් ගමනේ

aranayake 0අරණායක එළගිපිටිය සිරිපුර සාමසර කන්ද නායයාමෙන් මිය ගිය අයගේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ පූර්ව රජයේ වියදමින් දහස් සංඛාත ජනතාවගේ සෝ සුසුම් හඩ මධ්‍යයේ හත්ගම්පොළ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මියගිය අයගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා හත්ගම්පල විදුහලේ තැන්පත් කොට තිබුණි. අවසන් ගෞරව දැක්වීම සඳහා ආණ්ඩුව මැති ඇමතිවරු ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඇතුලූ විශාල පිරිසක් පැමිණ සිටියහ. ආගමික කටයුතු සිදු කිරීම සඳහා ප‍්‍රදේශවාසී මහා සංඝරත්නය විශාල කොටසක් වැඩම කොට සිටි අතර උන් වහන්සේලාගේ අනුශාසනාවලින් පසු මිය ගිය අයගේ පවුලේ ඥාතීන්ද ආණ්ඩුව නියෝජනය කරමින් නිලධාරින්ද ප‍්‍රදේශවාසීන්ද මැති ඇමැතිවරුද මතක වස්ත‍්‍ර පූජා කොට පැන් වඩා මිය ගිය අයට පින් අනුමෝදන් කළහ. ආගමික වතාවත්වලින් පසු ජනපතිතුමාගේත් අගමැතිතුමාගේත් ශෝක පණිවිඩ කියවීමෙන් පසු ආණ්ඩුවේ මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක්ද අවමංගල්‍ය සභාව ඇමතූහ. අනතුරුව දේහයන් හත්ගම්පල සුසාන භූමිය වෙත රැගෙන එන ලදී. දේහයන් රැගෙන එන මග දෙපස අති විශාල ජනතාවක් රැස්ව සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විලාප තබමින් හඩනු දක්නට තැබිණි. වැසි සහිත කාලගුණය ද නොතකා කන්දට යට වී මිය ගිය තම ඥාතීන්ට, අසල්වැසියන්ට අවසන් ගෞරව දක්වන්න ප‍්‍රදේශවාසීන් වැල නොකැඞී උදෑසන සිට හත්ගම්පොළ විදුහලට පැමිණියහ.

හත්ගම්පොළ විදුහලේ තැන්පත් කැර තිබූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ හතර වැනි බල ඇණියේ සේවය කළ කෝප‍්‍රල් සෙනෙවිරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා උත්තමාචාර යටතේ සිදු කෙරිණි.

නාය යාමෙන් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු ඊයේ වන විට සොයා ගෙන ඇති අතර මළ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු ඊයේ දිනයේත් සිදු කෙරිණි. හඳුනා නොගත් මළ සිරුරු 4 ක්ද ඇති බව පොලිසිය කියයි.