යුරෝපා මාළු අපනයන තහනම ඉවතට

the fisherman 1888යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මෙරට මත්ස්‍යයින් යුරෝපීය රටවලට අපනයන කිරීම සම්බන්ධයෙන් වන තහනම ඉවත්කර ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර යුරෝපා සංගමය කළ දැනුම්දීම නිලවශයෙන් දැනුම්දෙමින් කතරගමදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මහින්ද අමරවීරගේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පෙරේදා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මත්ස්‍ය තහනම ඉවත් කර ඇති බවත්, ඒ ගැන අද මාධ්‍ය හමුවක් පවත්වා දැනුම්දෙන බවත්, සඳහන් කරන ලදී.

කෙසේ වෙතත් එම නිවේදනය අමාත්‍යවරයා  නිල වශයෙන් නොපිළිගෙන ඒ ගැන තීන්දුව තවමත් ලැබී නැති බැව් පවසා අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන 74ක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් 17,000 ඉක්මවයි.

නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් ලෙස සැලකේ.

යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ ශ්‍රී ලංකාවයි.