ජලයේ හදිසි ආපදාවන්ගෙන් මුදාගැනීමේ පුහුණුවක්

n 03ශ්‍රීලංකා ගුවන් හමුදාව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් හදිසි ආපදා තත්ත්වයකදී අනතුරට පත් පුද්ගලයන් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී සිදු කෙරිණ.

පසුගිය කාල වකවානු‍වේ ගංවතුර උවදුරු හා මුහුදේ දී අනතුරු සිදුවු අවස්ථාවන්වලදී අනතුරට පත්වූ පුද්ගලයන්ගේ ජීවිත බේරාගැනීමේ කි‍්‍රයාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායකත්වය සපයා ඇති අතර මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ ඉදිරි කාලය තුළදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරීමයි.

මෙම පුහුණු පාඨමාලාව සදහා ගුවන් නියමුවන් , ගුවන් හමුදා ගිනි නිවීමේ භටයන් , ගුවන් අවිකරුවන් , ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා භටයන් හා අවිකරුවන් ඇතුලු පිරිසක් සහභාගී වු අතර පසුගිය දින 3ක් පුරාවට මෙම පුහුණු පාඨමාලාවේ පෙර පුහුණුවීම් සිදු කරන ලදි.

මෙම පුහුණු පාඨමාලාව ගුවන් හමුදා අංක 4 හෙලිකොප්ටර් බලඝණය විසින් එම බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කාලිංග මහීපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ සාර්ථකව අවසන් කරන ලදී.