එජනිස මැයි රැලියට මහින්දට ඇරැයුම්

05 mageශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා සන්ධානය එක්ව මෙවර ගාල්ලේ දී පවත්වන මැයි රැළියට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රය නිල වශයෙන් ඊයේ (18) යැවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් තමන් එම ආරාධනා පත්‍රය මහින්ද රාජපක්ෂ මහතා ට යැවූ බවත්, ශ්‍රීලනිපය වෙනුවෙන් එහි මහ ලේකම්වරයා අදාළ නිල ආරාධනා පත්‍රය ඒ මහතා වෙත යොමු කරනු ඇති බවත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීළඟ මැතිවරණ ජයග්‍රහණයට ශක්තිමත් ආරම්භයක් මෙවර ගාල්ලේ මැයි රැළියෙන් ඇරැඹීමට හිටපු ජනාධිපතිවරයා එක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් බෙදී වෙන් වී කටයුතු කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට වාසි ලබා දීමට එතුමන් කටයුතු නොකරනු ඇතැයි පාක්ෂීකයන් වීශ්වාස කරන බවත් අමරවීර මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිපය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දියුණුව උදෙසා කළ කැපවීම කිසිදා පාක්ෂිකයන් අමතක නොකරන බව පවසන මහ ලේකම්වරයා මෙවර මැයි දිනය එකමුතුව සැමරීමෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය මාවතකට යොමු කරනු ඇතැයි ද කියයි.