ශ්‍රී ල.නි.ප.ය රැකගෙන ඉදිරියට ගෙන යෑමේ වගකීම තරුණ සාමාජිකත්වයට පැවරෙනවා

president2දුක්කම්කටොළු බාධක ජයගෙන ඉදිරියට ගෙන ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන ඉදිරියට ගෙන යාමට එහි තරුණ සාමාජිකත්වයට මහඟු වගකීමක් පැවැරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඉකුත්දා විවෘත කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. පක්ෂයේ තරුණ සංවිධානයට සහ තරුණ නායකයින්ට සුබපැතුවා. අනාගතයේ මේ රටේ ජනාධිපතිවරුන් බිහිවේවා කියලා.

1967 අගෝස්තු මාසයේ තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයට බැඳුණේ. මම පාසල් ශිෂ්‍යයෙක්. මට ඡන්ද බලයවත් තිබුණේ නැහැ. මගේ වයස අවුරුදු 17යි. 67 අගෝස්තු මාසයේ මගේ දේශපාලන ගුරුවරයා ලීලාරත්න විජේසිංහ මහත්මයා එතුමාගේ ආරාධනයෙන් පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඒ කටයුත්තට සහභාගි වුණේ. එදා මෙදා කාලය තුළ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කරද්දී විශේෂයෙන් 1977 ආණ්ඩු පෙරළියෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ තුළ මම පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා විදිහට පත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ දුෂ්කර ඉතාම අසීරු යුගය තමයි 77-94 යුගය. එම යුගයේ පක්ෂයේ සභාපතිවරයා විදිහට මම අවුරුදු 12ක් අඛණ්ඩව කටයුතු කළා ආණ්ඩු බලයක් නැතිව. මේ පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා රෑ වෙලා ගෙදර යන්න ගෙයක් නැහැ. මේසයකට පත්තරයක් එලලා තමා නිදාගත්තේ. විශේෂයෙන්ම කරුණාරත්න, ඉන්ද්‍රපාල අබේවීර වැනි ඒ යුගයේ අපි සමගම ඒ කාර්යාලය තුළ වැඩ කරපු අය එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බරපතළ දුෂ්කරතා ඇති කරලා එදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මුහුණ දුන් තත්ත්වය අපියි දන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගත්විට ඔබ දන්නවා අපේ පක්ෂයේ නිර්මාතෘවරයා විදිහට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය නිර්මාණය කරන්න එදා සමකාලීන නායකයින් සමග මහ කැපවීමක් කරලා මහා අධිෂ්ඨානශීලීව මේ පක්ෂය බිහි කළේ. ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් හැදිලා ඉතාම කෙටි කාලයකින් ආණ්ඩු බලය ඇල්ලුවා නම් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1951 බිහි කරපු පක්ෂය 56 ආණ්ඩුවක් පිහිටෙව්වා. අවුරුදු 5ක් ඇතුළත ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට පුළුවන්කමක් ලැබිලා නෑ.
බණ්ඩාරනායක මහතාගේ දේශපාලනය තුළ තිබුණු දර්ශනය ජනතාවගේ පිළිගැනීම යුගයට ගැළපෙන නායකත්වය, යුගයේ අවශ්‍යතාවන් තේරුම් ගෙන ජාතික සංවාදයක් තුළ පුළුල් දේශපාලන කථිකාවතක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම ඒ තුළ වසර 5ක් වැනි කෙටි කාලයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිහිවීම.

බණ්ඩාරනායක මහතා තරම් අපි දන්නවා. මේ රටේ ආණ්ඩු බලය අතර අරගෙන දුක් විඳපු නායකයෙක් මානසික පීඩා විඳපු නායකයෙක් මේ රටේ ඉතිහාසයේ අහලා නැහැ. බණ්ඩාරනායක මහතාගේ චරිත කතාව 56 ආණ්ඩුව ඒ සිදුවීම් ගන්නා විට 1948න් පස්සේ මේ රටේ බලයට පත්වුණු නායකයින්ගෙන් රාජ්‍ය බලය අරගෙන ඒ තරම් පීඩාවට ලක්වූ නායකයෙක් නෑ.

56 අප්‍රේල් මාසයේ ඉඳලා 59 සැප්තැම්බර් මාසයේ උදෑසන ඒ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා ඔහු ඝාතනය කළ අවස්ථාව දක්වා කාලය ගත්තහම අවුරුදු තුන හමාරක කාලය තුළ බණ්ඩාරනායක මහතා රටට ජනතාවට සේවය කරන්න කැපවෙලා, ජනතාවාදී තීන්දු අරගෙන ප්‍රගතිශීලී තීන්දු අරගෙන, එදා ලෝක බලවතුන් තුළ තිබුණු අධිරාජ්‍යවාදී කඳවුර, සමාජවාදී කඳවුර එක් පැත්තකින් සෝවියට් සමාජවාදී කඳවුර, අනෙක් පැත්තෙන් ධනවාදය නියෝජනය කරන ඇමෙරිකන් කඳවුර විශේෂයෙන් ලෝක බල තුලනය තුළ 50 දශකය 60, 70 දශකය අපි දන්නවා අන්තර්ජාතික වශයෙන් මොනතරම් දේශපාලන පක්ෂ ඇතිවුණා වගේම ඒ ලෝක බල තුලනය තුළ අපි වගේ පුංචි රටවලට එදා අදට වැඩිය තැනක් තිබුණා. ලෝක බල තුලනය තුළ ලෝක නායකයින් බෙදිලා ඉන්නකොට අපි වගේ පුංචි රාජ්‍යයන්වල වැදගත්කම ඇතිවුණා, ඒ හැම කෙනෙකුටම. ජාත්‍යන්තරය තුළ අපේ ඡන්ද බලය, ජාත්‍යන්තර තුළ අපේ භූ ගෝලීය පිහිටීම ඒ සියලු තත්ත්වයන් තුළ අපිට විශාල තත්ත්වයක් තිබුණා. ලෝකය එක පැත්තකට ගමන් කරන්න ගත්තහම තමයි ලෝකයේ පුංචි රටවල් ජනතාව සුළු වශයෙන් ජීවත්වන අඩු සංවර්ධනයක් තියෙන රටවල්වලට විශේෂයෙන්ම අඩු සැලකිලි ලැබෙන්න පටන් ගත්තේ.

බණ්ඩාරනායක මහතා විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය අහිමිවීම පිළිබඳ කතාවේදී බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂය ‍නෙවෙයි.

 එතුමාව ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ.ය නෙවේ. එතුමාව ඝාතනය කළේ ආණ්ඩුවෙන් පිට සතුරු බලවේග නෙවේ. බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම බණ්ඩාරනායක මැතිතුමාට පන්සිල් දීපු, බණ කියපු හාමුදුරුවරු කිහිප දෙනෙක් හා එතුමාගේ ආණ්ඩුවේ කැබිනට් එකේ සාමාජිකයින් කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒ විදිහට තමයි පක්ෂ නායකත්වයට තමන්ගේ පක්ෂය තුළම ඒ ප්‍රහාරය එල්ල වෙලා බණ්ඩාරනායක මැතිතුමාගේ ජීවිතය ඝාතනය කරලා දැමුවේ. තමන්ගේ පක්ෂ නායකත්වය ඝාතනය කරන්න තරම් තමන්ගේ පක්ෂය තුළ මොනතරම් අමානුෂික වුණාද, මොන තරම් දේශපාලන පහත් තත්ත්වයට පත්වුණාද, මොන තරම් දේශපාලන කුමන්ත්‍රණයක් පක්ෂය තුළ සිදුවුණාද කියන කාරණාව විශේෂයෙන්ම බණ්ඩාරනායක ඝාතනයේ ඒ පසුබිම සැලකිල්ලට ගත්තහම කියන්න පුළුවන්.

ඒ නිසා එදා මෙදා කාලය තුළ අපි ආපු ගමන් මගේදී විශේෂයෙන්ම අද තත්ත්වය සැලකිල්ලට ගත්හම මම සුබපතනවා. ආශිර්වාද කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් නිලධාරී මණ්ඩලය තෝරලා ඒ වගේම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ආරම්භ කරලා මැතිවරණයකට මුහුණ දීම සඳහා අවශ්‍ය කමිටු පත්කරලා ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටු පත්කරලා ඒවට බලතල දුන්නට පස්සේ තරුණ සංවිධාන භාරගත්තා. ඒ තරුණ නායකයින් ඉතාම කාර්යක්ෂම වෙලා තමන්ගේ වගකීම භාර අරගෙන කටයුතු කිරීම ගැන අගය කරනවා.