දරුණු මූල්‍ය අපරාධ 20ක් ගැන කඩිනම් පරීක්ෂණ

ficdපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩිනමින් විමර්ශන කටයුතු නිමකිරීම සඳහා දරුණු මූල්‍ය අපරාධ 20ක් හඳුනාගෙන ඇත.

ඉදිරි සති කිහිපය තුළදී මේ දරුණු මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් සිදුකෙරෙනු ඇතැයි එම පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වෙතත් මෙම කඩිනම් පරීක්ෂණ කටයුතුවලට යම් බලපෑම් සිදුවිය හැකි නිසා මෙලෙස පරීක්ෂණ පැවැත්වෙන සිද්ධීන් පිළිබඳව විස්තර කිරීමෙන් මෙම නිලධාරියා වැළකී සිටියේය. එහෙත් මේවායින් සමහර සිද්ධිවලට මෑත කාලයේදී විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. චෝදනාවල බරපතළකම පදනම් කරගෙන මෙම සිද්ධි තෝරගෙන ඇතැයි ඔහු පැහැදිලි කළේය.

පසුගිය අවුරුද්දේ පැමිණිලි 200ක් මෙම පොලිස් කොට්ඨාසයට ලැබුණා. ප්‍රමාණවත් සම්පත් හා මානව ප්‍රාග්ධනයක් නොමැතිවීම වැනි බාධාවන් නිසා සෑම පැමිණිල්ලක්ම කඩිනමින් පරීක්ෂණවලට භාජනය කිරීම අපහසු වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ සෑම අංශයකම විවේචනයට මෙම කොට්ඨාසය ලක්වීමයි. මෙම හේතුව නිසා යම් සිද්ධිවලට ප්‍රමුඛතාවයක් දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. එනිසා මෙම බරපතළ සිද්ධි 20 හැකි ඉක්මනින් අවසන් කිරීමට පොලිසිය සෑම ප්‍රයත්නයක්ම යොදනවා” යැයිද පොලිස් ප්‍රකාශකයා කීවේය.

මේ අතර මාධ්‍ය ඇමතූ නව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තවදුරටත් සවිමත් කරන බව පැවැසීය. මහජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගත යුතු”යැයිද නව තනතුරේ රාජකාරි භාර ගනිමින් පොලිස් මූලස්ථානයේදී ඔහු පවසා තිබිණි.

මේ අතර දූෂණ විරෝධී විමර්ශන ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා නව රජයේ නීතිඥයන් 50කගේ සේවය ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට පවතින නඩු 31ක් නිම කිරීම සඳහා නව නීතිඥයන් 31 දෙනෙකුගේ සේවය නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ලබාගත්තේය.